ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක - ජනපති

ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක - ජනපති

May 1, 2024   07:32 am

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය.

සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදය හමුවේ මෙරට කම්කරු ජනතාව එය නොසැළී විඳදරාගැනීම ප්‍රසංශනීය බව එම පණිවිඩයේ දැක්වෙයි.

කම්කරු ජනතාව තවදුරටත් දිළිඳු ජනතාවක් ලෙස රඳවා ගැනිම රජයේ අරමුණ නොවන බැවින් අරගලයකින් තොරව ඔවුනගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වන වරට ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙවර කම්කරු දිනය සමරනුයේ වැඩබිම ද අභියෝගයන්ට ලක්වූ තීරණාත්මක කාලයක බව අග්‍රාමත්‍යවරයා සිය කම්කරු දින පණිවිඩයෙන් පෙන්වාදෙයි.

ආර්ථික අර්බුදයන්ට මුහුණදුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩකරන ජනතා ශක්තියෙන් බව අග්‍රාමත්‍යවරයාගේ කම්කරු දින පණිවිඩයේ සඳහන් වෙයි.

නැවත ආර්ථිකය ගොඩනැගීමට වැඩකරන ජනතාව අඛණ්ඩව ලබාදුන් කැපවීම අගය කිරීම සඳහා කම්කරු දිනය යොදාගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.