කම්කරු දිනය අදයි - ප්‍රධාන පක්ෂ මැයි රැළි පවත්වන්නේ මෙහෙමයි

කම්කරු දිනය අදයි - ප්‍රධාන පක්ෂ මැයි රැළි පවත්වන්නේ මෙහෙමයි

May 1, 2024   06:57 am

1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි.

මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇත.

එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.

ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.