නීතිඥවරිය අබිරහස් ලෙස ඝාතනය කර දේපොළත් කොල්ලකාලා

නීතිඥවරිය අබිරහස් ලෙස ඝාතනය කර දේපොළත් කොල්ලකාලා

April 30, 2024   10:00 am

නිවසක තනිව විසූ අවිවාහක කාන්තාවක් නිවසේ ඇඳ මත අබිරහස් ලෙස ඝාතනය කර දේපොළ කොල්ලකා ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර පදිංචිව සිටි 64 හැවිරිදි නීතිඥවරියෙකි.

ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව ගත කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ ජීවත් වන බව පොලීසිය සඳහන් කරයි.

ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වනදා අවසන් වතාවට ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරෙකු වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (29) දහවල් කොහුවල පොලීසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වෙනි දිනයෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, කොහුවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් සොයා බැලීමේදී ඉදිරිපස ස්වංක්‍රීය ගේට්ටුවට යාබද ගේට්ටුව ඉබි යතුරු දමා වසා තබා තිබී ඇත.

ස්වයංක්‍රීය ගේට්ටුවේ කුඩා ගේට්ටුවෙන් වත්තට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවසේ ඉදිරිපස දොර වසා තිබී ඇති අතර නිවසේ පිටුපස දෙසට ගොස් බැලීමේදී මුළුතැන් ගෙයි දොර අඩක් විවෘත කර තිබෙනු දැක එයින් ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවස තුළ බඩුමුට්ටු ඇද දමා තිබෙන අයුරු දැක තිබූ බව වාර්තා වෙයි.

අනතුරුව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී නිවසේ සාලයට යාබද කාමරයේ ඇඳ රෙදි පිළිවලින් යම් දෙයක් වසා දමා තිබී ඇත.

එය හොඳින් පරීක්ෂා කිරීමේදී පාදයක් සහ හිසකෙස් දක්නට ලැබීමෙන් අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී රෙදිවලින් වසා තිබූ නීතිඥවරියගේ නරක් වූ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

නිවස තුළට ඇතුළු වූ යම් සාහසිකයෙක් හෝ පිරිසක් නිවසේ විදුලිය විසන්ධි කර ඇයව ඇඳ මත ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර මතට රෙදිපිළි දමා වසා නිවසේ අල්මාරි කබඩ් අවුස්සා දේපොළ සොයා ඇති අතර ඒ අයුරින් මුළු නිවසේම බඩුමුට්ටු අවුස්සා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සිදුවී ඇති ඝාතනය කවදා සිදුවී ඇත්ද ඒ නිශ්චිත වශයෙන් කිව නොහැකි බව පොලීසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් රත්න ගමගේ මහත්මිය මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලීසියට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.