විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන අවසරය දීර්ඝ කිරීමට විරෝධයක්

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන අවසරය දීර්ඝ කිරීමට විරෝධයක්

April 30, 2024   09:32 am

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බව ද කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කාරක සභාව ඉල්ලීම් කර තිබුණ ද නීතිපතිවරයාගෙන් විමසීමකින් තොරව එම තොරතුරු ලබාදිය නොහැකි බවට මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම බදු සහනය මඟින් රුපියල් මිලියන100 සිට වාහන ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම බොහෝ සාමාන්‍ය රැකියාවල නිරත ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවත් කාරක සභාවේදී සාකච්ඡා වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. 

මේ වන විට බලපත්‍ර 1,019 ක් ලබා දී ඇති බවත් අමෙරිකානු ඩොලර් මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙතෙක් ලබාදී ඇති වාහන බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46ක් බව අදාළ නිලධාරීන් සඳහන් කර ඇත.

වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සඳහා පවතින එකම අවස්ථාව මෙය වන බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.