ධෝනි, ෂර්මා සහ කෝලි ගැන  නොදන්න කතාවක් කුසල් හෙළිකරයි

ධෝනි, ෂර්මා සහ කෝලි ගැන නොදන්න කතාවක් කුසල් හෙළිකරයි

April 30, 2024   08:42 am

2017 වසරේ දී එංගලන්තයේදී පැවැති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය තමා ක්‍රීඩා කළ හොඳම ඉනිම බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

දෙරණ 360 සංවාද වැඩසටහනට ඊයේ (29) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කුසල් මෙන්ඩිස් පවසා සිටියේ, එම තරගයේ දී තමා සහ ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයින් වන මහේන්ද්‍ර සිං ධෝනි, රෝහිත් ෂර්මා, විරාත් කෝලි සිනා වූ අයුරු අමතක නොවන සිදුවීමක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු කුසල් මෙන්ඩිස්,

"මම ටෙස්ට් 100 සහ 150 ඒවා ලබාගෙන තියෙනවා. එක්දින තරගවල 100ට එහා ලබාගෙන තියෙනවා. 20යි 20 හොඳට කරලා තියෙනවා. මම දකින්නේ 2017 එංගලන්තයේදී පැවැති අයි.සී.සී ශූරයින්ගේ කුසලානයේදී මමයි ධනුෂ්ක අයියා සෙල්ලම් කළා ඉන්දියාවත් එක්ක. ඒ තරගයේදී අපි 320ක් හඹාගෙන ගියා. අපේ පළවෙනි කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යාවකට කැඩුනා. ඉතින් මායි ධනුෂ්ක අයියායි පන්දුවට පහර දෙද්දී මම ඇස් දෙකට දැකපු දෙයක් තමයි ධෝනි, ෂර්මා, කෝලියි අපි දිහා බල බල හිනාවුණා... ඉතින් අපි අත්දැකීම් අඩු ක්‍රීඩකයින් දෙන්නෙක්. අපි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරලා නැහැ. කිසිම පීඩනයක් ඔවුන්ට තිබුණේ නෑ. අපි එංගලන්තයේ ගහන්නෙත් පළවෙනි පාරට. ඒක දැකලා මායි ධනුෂ්ක අයියායි දිගටම ලකුණු අතර ඉද්දි ලකුණු එද්දි ඒ අයගේ පීඩනය අපි දැක්කා. කොච්චර පැනික් වුණාද කියලා. එදා දවසේ ලබාගත් ලකුණු 320 මගේ ඉනිමට වඩා මම කැමති තරගය ඉවර කරපු විදිහ. සමහරවිට කුසල් මෙන්ඩිස් කියන කෙනා ලෝකයක් දැගත්තේ ඒ තරගයෙන්."