ඇමති ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම

ඇමති ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් කළ ඉල්ලීම

April 29, 2024   09:50 pm

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අද (29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවය.

අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදීය. 

උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි යෝජනාවක් එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබේ.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ  ටිරාන් අලස් මහතා එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවය.

නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් තවදුරටත් එම අමාත්‍යධූරය දැරීමට නුසුදුසු බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම මහජන ආරක්ෂක අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහි දැක්වෙයි. 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ වනවිට විදේශගතව සිටින අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතළ මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.

ඔහු සඳහන් කරන්නේ බොහෝ ප්‍රසිද්ධ නීතිඥවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඊට හේතුවී ඇති බවය.

යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.‍