කරඳගොල්ලේ නායයෑමේ අවදානම අඩුකරන්න විකල්පයක්

කරඳගොල්ලේ නායයෑමේ අවදානම අඩුකරන්න විකල්පයක්

April 29, 2024   01:44 pm

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද (29) විශේෂ නිරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, නාය අවදානම අවම කිරීම සඳහා කඳුකර භූමියේ ඉහළ රැඳී ඇති ජලය කෙටි කාලීන ක්‍රම ඔස්සේ පහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක මලිත්තගොල්ල නම් වූ බෑවුම් සහිත කොටසෙහි දින කිහිපයකට පෙර සිට නාය අවදානමක ලක්ෂණ පෙන්නුම් කෙරේ.

ප්‍රදේශවාසීන් සැක පළ කළේ, එය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමත් සමඟ ඇතිවූ තත්ත්වයක් බවටය.

ඒ අනුව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්ල ප්‍රාදේශීය සභාව සහ යුද හමුදාව හා පොලීසිය සමග එක්ව එම නාය අවදානමට හේතු වී ඇති ජල මාර්ග වෙනත් දිශාවකට යොමු කරවීමේ කටයුතු සිදුකරනු ලබයි.