අංගොඩ ලොක්කාගේ ගෝලයා ගැන තවත් තොරතුරු එළියට

අංගොඩ ලොක්කාගේ ගෝලයා ගැන තවත් තොරතුරු එළියට

April 29, 2024   10:49 am

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකුව සිටි 'අංගොඩ ලොක්කා'ගේ ප්‍රධාන ගෝලයෙකු බව වාර්තා වේ.

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ගුවන් තොටුපළේ මෑතක දී සවිකරන ලද ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මඟින් මෙම සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි 'චිටී' නැමති අනුවර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.

මොහු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් මෙරටට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාළව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ව්‍යාජ නමකින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක්, ජාතික හැඳුනුම්පතක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනිඅවි ළඟ තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.