මෛත්‍රීගේ තීරණයට දුමින්දගෙන් තුති

මෛත්‍රීගේ තීරණයට දුමින්දගෙන් තුති

April 23, 2024   01:45 pm

තමන් පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිවන්ත වන බවත් ඉන් පක්ෂය ආරක්ෂා කරගැනීමට හැකිවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ (22) එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය.

"දැන් වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්ත සියලුම තීරණ ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී, චාරයක් නැති තීන්දු තීරණ එකින් එක වැරදි තීන්දු ගත්ත නිසා තමයි, අද හැමෝම හිරවෙලා ඉන්නේ. නිමල් සිරිපාලගේ පත්වීම වැරදි නම් උසාවි යන්න තිබුණා. එහෙම නැතුව නීතිවිරෝධී වැඩ කරනවා. මෛත්‍රීපාල සිරසේන මහතා දන්නේ නැහැ එයා කරන දේ මොනවද කියලා. මං එන්න කලින් කතා කළා ආචාර්ය චමිල ලියනගේට. මම කථා කරලා කිව්වා පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න මෛත්‍රීපාලට කෝල් කරලා අහන්න කිව්වා මෛත්‍රී මහත්තයා අපේ ෆෝන් එකට එන්නේ නෑ නේ. මෛත්‍රී මහත්තයාගෙන් අහලා කියන්න අධිකරණ ඇමතිවරයාට මේ පක්ෂය විකිණුවේ කීයටද කියලා."

ප්‍රශ්නය - ඔබතුමාලා කියන්නේ මේක විකුණුවා කියලා ද?

"නැත්නම් ඔහොම කරන්න බැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතෙන හිතෙන විදිහට සභාපතිවරු ගේන්න, දේශපාලන මණ්ඩල පත්කරන්න සංවිධායකවරු අයින් කරන්න මේක මේ එයාගේ තනි බූදලයක් නෙමෙයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන අයට තියෙන චෝදනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ල සමහරු කියනවා රනිල් ළඟට ගෙනියන්න හදනවා, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයට ගෙනියන්න හදනවා වැනි නොයෙකුත් දේවල් කියනවානේ. දැන් විජයදාස රාජපක්ෂ මහත්තයා හෙට පක්ෂය කොහේහරි එල්ලුවොත් මොකද කියන්නේ."

ප්‍රශ්නය - කොහේ හරි කියන්නේ ආණ්ඩුවේම එල්ලුවොත්ද  ?

"ආණ්ඩුවේ ඇමතිවරයෙක් නේ අපි දන්නවාද මේක ඩීල් එකක්ද කියලා. එතුමා හරි ප්‍රසිද්ධයි ඒ වැඩේට ඔහු ප්‍රසිද්ධයි ඒ වැඩේට. මට පෙන්නේ විජයදාස මහත්තයාව මෛත්‍රී මහත්තයා පාවිච්චි කරලා. මෛත්‍රී විජයදාසව පාවිච්චි කරලා. දෙන්නා අතරේ වුණ ගනුදෙනුවක්නේ මේක. එතුමට සභාපතිකම තියාගන්න උවමනාව මෛත්‍රීට සභාපතිකම තියාගන්න ඕන වෙලා තියෙන්නේ ඔහුට එරෙහිව තියෙන නඩු නිසා."

ප්‍රශ්නය -  නඩු තීන්දුවෙන් පස්සේ සභාපති වීම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැද්ද?

"එදත් තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා."

ප්‍රශ්නය - ඒ වෙලාවේ එහෙම විරෝධයක් ආවේ නැහැනේ?

"අපිට වැරදුණු තැන් තියෙනවා. අපිව ඉවත් කිරීම ගැන මෛත්‍රීට ස්තුතිවන්ත වෙනවා. එයා අපිව ඉවත් කිරීම නිසයි. පක්ෂය අපිට බේරගන්න පුළුවන් වෙන්නේ."