අතරමං වූ මවකට පිහිට වූ දෙවිවරු වන් මිනිස්සු

අතරමං වූ මවකට පිහිට වූ දෙවිවරු වන් මිනිස්සු

April 22, 2024   10:17 pm

මහමග අතරමංව සිටි වයෝවෘද කාන්තාවක් යළි ඇයගේ නිවස වෙත භාරදීමට කාසි වත්ත ප්‍රදේශයේ ජනතාව සහ බඩල්ගම පොලීසිය කටයුතු කර තිබේ.

මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ තම්මිට ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 90ක පමණ වයෝවෘද කාන්තාවකි.

එම කාන්තාව බඩල්ගම කාසිවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් ඇය පිළිබඳව බඩල්ගම පොලීසියට දැනුවත් කර ඇත.

අනතුරුව බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැමිණ එම කාන්තාව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් කෑගල්ල ප්‍රදේශයේ සිට එම ප්‍රදේශයට පැමිණි බවය.

පසුව බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත පවසා ඇත්තේ එම කාන්තාව මීට පෙර එම ප්‍රදේශයේදීම තමන් දුටු බවය.

එදින පොලිස් ස්ථානාධිපති ජයන්ත මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී කෙහෙල්ඇල්ල තම්මිට ප්‍රදේශයේදී මෙම කාන්තාව මාර්ගයේ ඇවිද එන අයුරු දැක ඇත.

ඒ අනුව පොලිස් ස්ථානාධිපති ජයන්ත මහතා තමන් අදාළ කාන්තාව දුටු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි කිරීමකදී තම්මිට ප්‍රදේශයේ පිහිටි නිවසක අදාළ කාන්තාව වාසය කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අනුව එම කාන්තාව ඇයගේ නිවසට භාරදීමට පොලීසිය පියවට ගෙන තිබුණි.

එහිදී නිවැසියන් අදාළ කාන්තාව දින දෙකක් තිස්සේ සොයමින් සිට ඇති බවත් ඇය අමතක වීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් අනාවරණය වී තිබුණි.