රිමාන්ඩ් කළ ෆොක්ස් හිල් රියදුරන් කළ පාපෝච්චාරණය

රිමාන්ඩ් කළ ෆොක්ස් හිල් රියදුරන් කළ පාපෝච්චාරණය

April 22, 2024   08:50 pm

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනෙකු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය මගින් අද අත්අඩංගුවට ගත් අතර බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්‍රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

උපුටා ගැනීම,

පොලිස් නිලධාරියා - මේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්තුමා ඇවිත් ඉන්නේ. ඔයාට කියන්න දෙයක් තියෙනවානම් ගරු මහේස්ත්‍රාත්තුමාට කියන්න පුළුවන්.

බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා - ඔයාට කතාකරන්න පුළුවන් නේද? කියන්න

අනතුර සිදුවනවිට මොටර් රථයක් පැදවූ රියදුරෙක්  - මම දැක්කේ නැහැ පෙරළිලා තියෙනවා කියලා. පෙරළිලා තිබිලා තියෙනවා. යනකොට පෙනුණේ නැහැ. මම දකුණු පැත්තෙන් ගියේ.  ඊටපස්සේ මගේ අතින් මේ පැත්තට කැපුණා. කාර් දෙක මැදින් ගියා දකුණු පැත්තට.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා - ඔයාට කතාකරන්න පුළුවන් නේද? මොකද වුණේ.

අනතුර සිදුවනවිට මොටර් රථයක් පැදවූ රියදුරෙක්  - "සර් පළවෙනි රවුම ආරම්භ කළා. දෙවැනි රවුම එනකොට එතන පල්ලම් බහිද්දි එතන තරග ස්ථානයේ ලොකු දූවිල්ලක් තිබුණා. අපි ටිකක් පාලනය කරන්න බැලුවා ඒත් එකපාරට ඇතුළට යනකොට ඉස්සරහින් තව මොකක්හරි යමක් වදිනවා වගේ දැනුණා. ඒත් එක්කම තව පිටිපස්සෙන් ආපු වාහනයක් මගේ වැදුණා. ඒත් එක්කම මට දැනුණා මගේ වාහනය පෙරළෙනවා වගේ. ඊට විනාඩියකට විතර පස්සේ මම හෙල්මට් එක ගලවලා ඇතුළෙන් ආවා.

උපුටා ගැනීම අවසන්,