ජීවිත 7ක් අහිමිවූ ෆොක්ස් හිල් ඛේදවාචකයේ වගකීම කාගේ ද ?

ජීවිත 7ක් අහිමිවූ ෆොක්ස් හිල් ඛේදවාචකයේ වගකීම කාගේ ද ?

April 22, 2024   08:12 pm

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2024 තරගාවලිය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය එක්වයි.

සංවිධායකයන් තරගාවලියට පෙර පැවසුවේ නරඔන්නන් සහ රියදුරන් ඇතුළු පාර්ශ්වවල ආරක්ෂාව සහතික කර ඇති බවය.

කෙසේවෙතත් මෙවන් මාරක අනතුරක් සිදුවූයේ නිසි ආරක්ෂක විධිවිධාන අනුගමනය නොකිරීම නිසා බවට මේ වන විට ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබේ.

අදාළ අනතුර වාර්තාවීමත් සමඟ හිටපු ප්‍රවීන මෝටර් රථ ධාවකයින් තරගාවලියේ සංවිධායකයින් පහසුකම් සැපයූ ආකාරය පිළිබඳ කරුණු කිහිපයක් ඔස්සේ සිය අවධානය යොමුකර තිබේ.

ඒ අනුව පැවති දූවිලි සහිත තත්ත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි ජලය යොදා ධාවන පථය තෙත් කිරීමට සංවිධාකයකින් පියවර ගත්තේද ? ධාවන පථය වටා පස් කණ්ඩිය නියමිත ප්‍රමිතියට සකස් කර තිබුණේද ?  අනතුරක් වූ බවට සෙසු ධාවකයින්ට නිසි පරිදි සංඥා ලබා දුන්නේද ? යන්න ඔවුන් සංවිධායකයින්ගෙන් ප්‍රශ්න කරයි.

එමෙන්ම ලක්ෂයට අධික පිරිසක් සහභාගී වන මෙවැනි ඉසව්වක හදිසි අවස්ථාවක කලබලයට පත්වන ප්‍රේක්ෂකයින් පාලනය කිරීමට ප්‍රමාණවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා සිටියේද යන්නත් ඔවුන් තවදුරටත් ප්‍රශ්න කරයි.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන පථය ලෙස යොදාගෙන ඇත්තේ කඳු, බෑවුම් සහ වංගු සහිත කිලෝමීටර 1.2 ක දිගින් යුතු පථයකි.

එම ධාවන පථය පිටත කළෙවරේ අඩි 3 ක් උසැති පස් කණ්ඩියක් යොදා ඇත්තේ මෝටර් රථ පථයෙන් පිටතට විසිවී යාම වැළැක්වීමටය.

එම පස් කණ්ඩියේ සිට පිටතට තවත් අවම අඩි 20 ක් සහ උපරිම අඩි 30 ක් දක්වා දිවෙන මිනිසුන් රහිත කලාපය , එනම් NO MAN AREA එකක් පිහිටුවා තිබේ.

එය කෙළවර ආරක්ෂිත වැටක් ස්ථාපිත කර ඇති අතර නරඹන්නන්ට තරගය නැරඹිය හැක්කේ එම වැටෙන් පිටත සිටය.

ඊයේ අනතුර සිදුවීමට පෙර එම ධාවන පථයේ තරග ඉසව් 17 ක් පැවති අතර අනතුර සිදුවුනේ 18 වැනි ඉසව්වේදීය.

සාමාන්‍යයෙන් එම ධාවන පථයේ එක් වටයක් සම්පූර්ණ කිරීමට අවම වශයෙන් තත්පර 45 ක කාලයක් ගතවෙයි.

18 වැනි ඉසව්වේ දෙවැනි වටයේදී මෝටර් රථයක් හදිසියේ ධාවන පථය තුළ පෙරළීයාමත් සමඟ ප්‍රේක්ෂකයින් සඳහා වෙන්කර තිබූ ප්‍රදේශයේ සිටි පිරිසක් එය නැරඹීමට ආරක්ෂිත වැටෙන් පැන හිස් බිම්කඩ ඔස්සේ ධාවන පථයේ පස් කණ්ඩිය දක්වා පැමිණ තිබුණි.

ධාවන පථය ඔස්සේ වේගයෙන් ඉදිරියට පැමිණි මෝටර් රථ දෙකක් ආරක්ෂිත පස් කණ්ඩියේ ගැටී අනතුර සිදුවුණේ එම අවස්ථාවේදීය.

පස් කණ්ඩිය අසළ රාජකාරියේ නියුතු ධාවන පථ නිරීක්ෂකයින් සාමාන්‍යයෙන් මෙවැනි හදිසි අවස්ථාවල පස් කණ්ඩියට පිටුපසින් පිහිටි හිස් බිම්කඩට පැන සිය ආරක්ෂාව සලසා ගනු ලබයි.

නමුත් ඒ අවස්ථාවේ පස් කණ්ඩිය දක්වාම ප්‍රේක්ෂකයින් පිරී සිටීම නිසා ඔවුන්ට එලෙස ආරක්ෂාවීමට හැකියාවක් ලැබී නැත.