කිතුනුවන්ගේ පාස්කු ඉරුදිනය ලෙයින් තෙත්වී හෙටට වසර 05ක් 

කිතුනුවන්ගේ පාස්කු ඉරුදිනය ලෙයින් තෙත්වී හෙටට වසර 05ක් 

April 20, 2024   09:43 pm

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට හෙටට (21) පස් වසරක් සපිරීම සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් අද (20) මධ්‍යම රාත්‍රීය පුරා වීථි සංචාරය කිරීමට නියමිතය. 

ඒ වෙනුවෙන් සංවිධාන වූ සිහිකිරීමේ වැඩසටහන් මාලාව අද පස්වරුවේ ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයකිනි.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායම් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළේ, පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත උදුරාගනිමිනි. 

එහිදී තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර ඇතැමුන් තවමන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැත. 

පෙරහැර ගමන් කරනා මාර්ගය වන්නේ කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට මට්ටක්කුලිය පාලම, හේකිත්ත මාර්ගය ඔස්සේ වත්තල හන්දිය, එතැන් සිට මීගමු කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ කටුවපිටිය දේවස්ථානය.