ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් නැහැ

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් නැහැ

April 20, 2024   05:01 pm

ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමක පසුවන අයෙක් ඇත්නම් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස තානාපතිවරයා දැනුම්දෙයි.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විමසීම් ලැබුණ ද ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලාංකිකයින් 11,500ක පම‍ණ පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් සියයට 70ක් පමණ නිවෙස්වල සේවය කරන බව සඳහන් ය.

සියයට 15ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වලත් සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවලත් සේවයේ නිරතව සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

ගාසා තීරය ආසන්නයේ ජීවත්වූ බොහෝ පවුල් ඉන් ඉවත්කර තාවකාලිකව හෝටල්වල නවාතැන් සපයා ඇති බව පෙන්වාදෙන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ගාසා තීරයෙන් එල්ලවන බොහෝ ප්‍රහාර මේ වනවිට නතරවී ඇති බවද සඳහන් කළේය.

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින්විට ෂෙල් ප්‍රහාර වාර්තා වීම හේතුවෙන් එම කලාපයේ සිටි ඊශ්‍රායල ජාතිකයන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති අතර එම පවුල් සමග සිටි ශ්‍රී ලාංකිකයන්ද ඔවුන් සමග නව ස්ථානවලට ගොස් ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් මතු නොවන බව තානාපතිවරයා පැවසීය.

කෙසේවෙතත් ගුවන් සමාගම් විසින් ඇතැම් ගුවන් ගමන් අවලංගු කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව සිටින බොහෝ දෙනෙකුගේ ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.