සිම්බාබ්වේ ණයවලින් කොටසක් කපාහැරීමට චීනය කටයුතු කළේ ඇයි ?
සයුරෙන් එතෙර

සිම්බාබ්වේ ණයවලින් කොටසක් කපාහැරීමට චීනය කටයුතු කළේ ඇයි ?

April 20, 2024   04:08 pm

චීනය විසින් සිම්බාබ්වේ වෙත ලබාදී තිබූ පොලී රහිත ණයවලින් කොටසක් කපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය විසින් සිම්බාබ්වේ ණය කපාහැරීම තුළින් ඔවුන්ව තවත් අර්බුදයකට ඇද දමන බවට විශේෂඥයන් පෙන්වා දී ඇති පසුබිමක චීනය පවසන්නේ ණය කපාහැරීම තුළින් සිම්බාබ්වේ රාජ්‍යයට ණය අර්බුදයෙන් ගොඩඒමට පහසුවක් වනු ඇති බවය.  

2023 සැප්තැම්බර් වන විට, සිම්බාබ්වේ ප්‍රසිද්ධියට පත් කළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.7 කි.

එයින් ඩොලර් බිලියන 12.7 ක් බාහිර ණය වූ අතර ඩොලර් බිලියන 5 ක් දේශීය ණය වෙයි.

සිම්බාබ්වේ රාජ්‍යයට විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් චීනයෙන් ගැනීමට සිදුවූයේ ණය ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි බහුපාර්ශ්වික ණයහිමියන්ගෙන් ණය ලබාගැනීමට නුසුදුසු බවට සිම්බාබ්වේ නම් කිරීම හේතුවෙනි.

මේ අතර මාලදිවයින ද ණය කල්දැමීම සහ කපාහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාලදිවයිනේ රාජ්‍ය විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 42ක පමණ ණය හිමිකරු චීනය බව ලෝක බැංකු වාර්තා පෙන්වාදී තිබේ.

එබැවින් ණය කපා හැරීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මාලදිවයිනේ ජනාධිපතිවරයා ඉකුත්දා ඉල්ලීමක් කර තිබුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එහිදී මාලදිවයිනේ ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ඉන්දියාව අඛණ්ඩව මාලදිවයිනේ සමීපතම අසල්වැසියා ලෙස කටයුතු කරනු ඇති බවය.