මත්ද්‍රව්‍ය සමග හසුවූ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග හසුවූ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

April 20, 2024   03:45 pm

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබාදී තිබේ.

ඒ, ලබන 26 වනදා දක්වාය.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමග නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මුල්ලේරියාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, මුල්ලේරියාව, සිරිපැරකුම් මාවත ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් ඊයේ (19) එහි ගොස් පරීක්ෂා කිරීමේදීය. 

අදාළ නිවස ඉදිරිපිටදී පොලිසිය එක් පුද්ගලයෙකුව පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සොයාගෙන තිබුණි.

අනතුරුව අදාළ නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි දොරවල් වසා තිබීම හේතුවෙන් පොලීසිය නිවසේ පසුපස දොර කඩා නිවසට ඇතුළු විය.

කෙසේවෙතත් එම අවස්ථාවේදී නිවස තුළ කිසිවකු දක්නට නොලැබීම නිසා පොලීසිය නිවසේ දොරගුලුලා තිබූ කාමරයක දොරක් කඩා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ව පරීක්ෂා කිරීමේදී එක් අයෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සොයාගෙන ඇති අතර ඔහු මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා ලෙස අනාවරණ වූ බව පොලීසිය පැවසීය.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට අධික ප්‍රමාණය බැගින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර්වරු දෙදෙනෙකු බවය.

ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ස්ථානයට පැමිණෙන බව සඳහන් කර ඇත.

මෙම අයිස් ජාවාරම පෙතියාගොඩ සංඛ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවද පොලීසිය පැවසීය.