පොලීසියෙන් බේරෙන්න ගිය දෙදරු පියාට දිවි අහිමි වෙයි

පොලීසියෙන් බේරෙන්න ගිය දෙදරු පියාට දිවි අහිමි වෙයි

April 19, 2024   04:21 pm

කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේදී පිරිසක් ඊයේ (18) රාත්‍රි මුදල් ඔට්ටුවට කැට සෙල්ලම් කරමින් සිටි ස්ථානයකට පොලීසිය කඩා පැන තිබේ.

එම අවස්ථාවේ දී කලබල වී දිව ගිය පුද්ගලයෙකු ජලය පිරි ගල්වළකට වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම නගර සීමා මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි කුලී වැඩවල නිරතව සිටි දෙදරු පියෙකි.

පිරිස මුදල් ඔට්ටුවට කැට සෙල්ලමේ යෙදී සිටියදී මෙලෙස එක්වරම පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග මිය ගිය පුද්ගලයා සමගින් තවත් තිදෙනෙකු දිව ගොස් ජලය පිරී තිබූ ගල්වලෙහි අඩි තිහක පමණ උඩ සිට ගල්වළට පැන තිබිණි.

ඒ අතුරින් තිදෙනෙකු පිහිනා ගල්වළින් ගොඩ වී නිවෙස් වෙත ගොස් ඇතත් එක් අයෙකු නිවසට ගොස් නොතිබූ බව පොලීසිය පවසයි.

පසුව ඇති වූ සැකය මත ප්‍රදේශවාසීන් විසින් ගල්වළෙහි පිරී තිබු ජලය පොම්පයක් ආධාරයෙන් ඉවත් කිරීමේ දී මියගිය පුද්ගලයාගේ දේහය ගල්වළ තුළ සිරවී තිබෙනු දැක පොලීසිය දැනුවත් කර ඇත.

එම ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.