පාස්කු ප්‍රහාරය ගැන දන්න තොරතුරු දුන්නා -සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය ගැන දන්න තොරතුරු දුන්නා -සිරිල් ගාමිණී පියතුමා

April 19, 2024   03:25 pm

"ඥානාර්ත ප්‍රදීපය" කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවය.

මේ අතර පසුගිය දිනක ජනාධිපතිවරයා වෙත පිටු 12 කින් සමන්විතව යොමු කළ ලිපිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැවසු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කර සිටියේ, අද දින භාරදුන් කරුණු පිළිබඳව පමණක් ගැඹුරින් අවධානය යොමුකිරීම තුළින් පමණක් වුවත් පාස්කු කුමන්ත්‍රණය ගැන සොයාගත හැකි බවය.

එළැඹෙන ඉරුදින වෙන විට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරෙන බව ද සඳහන් කළ එතුමා ඒ වෙනුවෙන් පාගමනක් ද සංවිධානය කර ඇති බවත් සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙස ද ආරාධනා කළේය.

"අපි ඉල්ලා සිටිනවා කතෝලික සහ කතෝලික නොවන සෑම කෙනෙකුගෙන්ම එකතු වෙන්න කියලා මේ හඬත් සමග එකතු වෙන්න කියලා. අපිට ඕනේ කතෝලිකයින්ට සාධාරණය ඉෂ්ට කරලා දෙන්න නෙමෙයි. අපිට ඕනේ මේ සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නේ අපරාධයක් කරලා සැඟවිලා ඉන්න පුළුවන් කියන සංස්කෘතිය වෙනස් කරන්න. ඒක ජාතික කාර්යයක්. ඒ වෙනුවෙන් එකතු වෙන්න."