ඉංජිනේරුවා ඝාතනයේ වරදකරුවෙක් වසර 35කට පසු හසුවෙයි

ඉංජිනේරුවා ඝාතනයේ වරදකරුවෙක් වසර 35කට පසු හසුවෙයි

April 19, 2024   01:40 pm

මීට වසර 35කට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ව ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමි වූ වරදකරුට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට උදව්කළ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තම බිරිඳ සමග ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවය නිරතව සිටි ඉංජිනේරුවෙක් ව අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස් සඟවා තැබීම සම්බන්ධයෙන් ඔහුට මහාධිකරණ මගින් මරණ දඩුවම නියම කර තිබුණි.

වසර 35 ක් පමණ සැඟව සිටි ප්‍රධාන සැකකරු පූගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගැනුණි.

පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) දින නියෝග කළාය.  

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 68 හැවිරිදි කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති පුද්ගලයෙකි.

සැකකරු උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත මියගිය පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැයි ද තහවුරු වූ බව පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. 

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් පෙබරවාරි මාසයේදී බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කළ සැකකාරියක ලෙස බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ නියෝග කළේය.

එකළ අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම මාර්ගයේ වැලිපිල්ලෑව ශ්‍රි සුමන මාවතේ නිවසකට මරණකරුව ගෙන්වා ගෙන බිරිඳ සමගින් එක් වී මෙම සැකකරු විසින් එම ඝාතනය සිදුකර තිබුණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොවීම නිසාවෙන් විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගෙන ඉකුත් 2019 වර්ෂයේදී සැකකරුවන් දෙදෙනාටම මහාධිකරණ මගින් මරණ දඬුවම නියම කළේය.