ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

April 18, 2024   06:58 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ.

පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණි.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර එහි මහලේකම් ධුරයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබිණි.

එම තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ අතර ඊට අදාළ ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙනු ලැබීය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද සිය පක්ෂයේ පසුගිය දිනවල සිදුකෙරුණු පත්කිරීම් හමුවේ මැතිවරණ කොමිෂන් සභාව හමුවේ විරෝධතා ගොනුකර ඇති බව වාර්තා වේ.

අදාළ පත්කිරීම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවට මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමුකරනු ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු පත්කරගැනීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත් වී නොමැති බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා බවය.

මේ අතර වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වී ඇති ඉරණම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පැවසුවේය.