මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවමත් - මගීන්ට දැනුම්දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවමත් - මගීන්ට දැනුම්දීමක්

March 30, 2024   07:27 am

අද (30) සහ හෙට (31) දිනයේ ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවය.
 
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

අද දිනයේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 25ක් අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වෙන්කිරීමේ ක්‍රියාවලිය විධිමත් පරිදි සිදුකිරීමට ප්‍රවාහන බලධාරීන් මේවන තෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, එළැඹෙන සඳුදා දිනයේ ඒ පිළිබඳ පැවැත්වෙන සාකච්ඡාවේදී තම සංගමයේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවය.