පුටින් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර හමුවක්
December 7, 2023 03:02 pm
2022 ජූලි මාසයෙන් පසු සිය ප්‍රථම මැදපෙරදිග චාරිකාව සඳහා පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊයේ (06) සෞදි අරාබියේ රියාද් නුවරදී එරට සැබෑ පාලකයා වන මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණගැසිණි.
ජනපති පුටින් රැගත් යානය රියාද් නුවරට පැමිණියේ ප්‍රහාරක ජෙට් යානා පිරිවරාගෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ජනපති පුටින් සහ සෞදි රජකුමරු MBS නැත්නම් මොහොමඩ් බින් සල්මාන් අතර සමීප මිත්‍රත්වයක් ගොඩනැඟී ඇත්තේ ඛනිජ තෙල් මුල් කරගෙනය.
ඔපෙක් සංවිධානයේ සාමාජිකයෙකු නොවුණත් රුසියාව ඔපෙක් සංවිධානය සමග එක්ව කටයුතු කිරීමත් සමඟ එය ඔපෙක් ප්ලස් බවට පත් විය.
අරාබියේ 2019 වසරේ ඔක්තෝබරයේ රුසියානු ජනපති පුටින් සෞදි අරාබියේ සංචාරයක නිරත වූ අතර එම වසරේ දෙසැම්බරයේ තෙල් මිල ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කප්පාදුවකට ඔපෙක් ප්ලස් එකඟ විය.
2016 වසරේ සිට තෙල් වෙළෙඳාමේදී සෞදි අරාබිය සහ රුසියාව අතර සහයෝගීතාවක් පවතියි.
2017 වසරේ මැයි මාසයේ මොහොමඩ් බින් සල්මාන් කුමරු රුසියාවේ සංචාරයක නිරත වූ අතර එම වසරේම ඔක්තෝබර් මාසයේ මොස්කව් නුවරදී ජනපති පුටින් හමුවීමට ඔහුට හැකි විය.
ජනපති පුටින් අවසන්වරට 2022 වසරේ සිදුකළ මැදපෙරදිග සංචාරයේදී මෙහෙරාන් නුවරට ගොස් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි මුණගැසිණි.
ජනපති පුටින් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර රියාද් නුවර ඊයේ පැවති සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ තෙල් මිල සම්බන්ධයෙන් ඔපෙක් ප්ලස් කණ්ඩායමේ සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳවයි.
ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ නිසි ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා සෞදි අරාබිය සහ රුසියාව අතර අන්තර් සම්බන්ධතාව වැදගත් වන බව සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කළේය.
සාකච්ඡා සම්බන්ධයෙන් මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අදහස් ඉදිරිපත්කරමින් සෞදි ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ, රුසියාව, සෞදි අරාබිය, මැදපෙරදිග සහ පොදුවේ ලෝකයටම ප්‍රතිලාභ අත්කර දිය හැකි කරුණු සම්බන්ධයෙන් ඔහු ජනපති පුටින් සමඟ සාකච්ඡා කළ බවයි.
එමෙන්ම ජනපති පුටින් සමඟ හමුව මැදපෙරදිග ආතතිය අවසන්කිරීමට ඉවහල් වන බවද මොහොමඩ් බිල් සල්මාන් කුමරු පවසා තිබේ.
රුසියානු රූපවාහිනී සේවා මගින් විකාශය කළ පරිදි ජනපති පුටින්, සල්මාන් කුමරුට ස්තූති කිරීමෙන් සාකච්ඡා අරඹා ඇත.
දෙරට අතර මිතුරු සබඳතා ගොඩනැගීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවත් ජනපති පුටින් එහිදී පවසා තිබේ.
සිය මැදපෙරදිග චාරිකාවේ පළමු අදියර ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අබුඩාබි වෙත පැමිණ එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයෙඩ් අල් - නහ්යන් මුණ ගැසිණි.
දෙරට අතර සබඳතා අසාමාන්‍ය ඉහළ තලයකට පැමිණ ඇති බව ජනපති පුටින් එක්සත් අරාබී එමීර් ජනාධිපතිවරයාට එහිදී පවසා ඇත.
එක්සත් අරාබි එමීරය, අරාබි ලෝකයේ, රුසියාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු බව ජනපති පුටින් එහිදී සිහිපත් කර තිබේ.
ඉන් අනතුරුවයි ජනපති පුටින් සෞදි අරාබියට පැමිණියේ.
ලෝකයේ දිනපතා නිෂ්පාදනය කරන තෙල්වලින් පහෙන් එකක්ම පාලනය කරන්නේ රුසියාව සහ සෞදි අරාබිය විසිනි.
සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් සමග පැවති සාකච්ඡාවේදී ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ රුසියාවට බටහිර ලෝකය සමග නොනවතින අරගලයකට මුහුණදීමට සිදුව ඇති බවයි.
බටහිර රටවල් විසින් හුදෙකලා කිරීමට උත්සාහ කළ ද රුසියාව මැදපෙරදිග, අප්‍රිකානු, ලතින් අමෙරිකානු සහ ආසියානු රටවල් සමග සබඳතා ගොඩනගමින් සිටින බව ජනපති පුටින් සඳහන් කර ඇත.
සෞදි කුමරු සහ ජනපති පුටින් අතර මිළඟ හමුව මොස්කව් නුවරදී සිදුවන බව ද එහිදී ප්‍රකාශ වී තිබේ.
ඔවුන් අතර රියාද් නුවර පැවති සාකච්ඡාවලදී යුක්‍රේන යුද්ධය සහ ගාසා තීරයේ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වේ.