වසර 7ක් පුරා අතවර කරපු මාමාට බයේ කැලෑ වැදුන අහිංසකාවියන්

වසර 7ක් පුරා අතවර කරපු මාමාට බයේ කැලෑ වැදුන අහිංසකාවියන්

October 18, 2018   12:10 pm

මිත්තනියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝජනයට ලක් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

පියා මිය යාමත් සමඟ මව විදේශගතවීම නිසා තම මිත්තිනියගේ රැකවරණය යටතේ ඇගේ නිවසේ ජීවත්වු මෙම දැරිය මෙලෙස අපයෝජනයට ලක්ව තිබේ.

ඇය එම පවුලේ වැඩිමහල් දියණිය වන අතර, ඇයට නැගණියක් ද සිටියි.

2011 සිටම මෙම සැකකරු මෙම දැරියට අතවර සිදුකර ඇති අතර 2014 ඇය වැඩිවිය පැමිණි පසු අදාළ සැකකරු ඇයව වරින් වර දුෂණය කර ඇති බව එම දැරිය පොලීසියට සඳහන් කළ බවද වාර්තා වෙයි.

37  හැවිරිදි සැකකරු දැනට කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන අතර දින දෙකකට පෙර ඔහු නිවසට එන බව දැනගත් මෙම දැරියන් දෙදෙනා  ඔහුට බීයේ කැලෑවේ සැඟවී පොලිසි හදිසි දුරකථන අංක 119 වෙත දැනුම් දී තිබේ.

පසුව පොලිස් නිලධාරීන් ගොස් දැරියන් දෙදෙනා පොලීසියට කැඳවා ගෙන ආ බව වාර්තා වෙයි.

දැරියන් දෙදෙනාම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරික්ෂණයකට ලක්කර අධිකරණ නියෝගයක් මත  පරිවාස බාරයට පත්කිරීමට කටයුතු කළ බව බදුල්ල පොලීසිය සඳහන් කළේය. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලීසිය විසින් මෙහෙයමුක් දියත් කර තිබේ.

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.