විදුලි බිලට සූත්‍රයක් ගේන්න හැකියාවක් නෑ

විදුලි බිලට සූත්‍රයක් ගේන්න හැකියාවක් නෑ

October 17, 2018   11:21 pm

විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත‍්‍රයක් හඳුන්වා දීමට ප‍්‍රායෝගිකව පුළුවන් කමක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා මේ  බවද පැවසීය.

"අපි යම් අවස්ථාවක විදුලිබිල වැඩිකිරීමක් කරනවානම්, අපි මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතුයි. අපි මහජන උපයෝගීතා කොමිසමට එවැනි යෝජනාවක් ඉදිරිපත් කළත්, එම යෝජනාව  සමාජයට බලපාන ආකාරය අනුව මහජන උපයෝගීතා කොමිසමට පුළුවන් මහජනතාවගෙන් ඒ පිළීබඳව අදහස් විමසා බලන්න. 

ඒක දීර්ඝකාලීන වැඩක්. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාවේ පනත අනුව ඔවුන් කරන්නාසේ මාස් පතා මිල සූත‍්‍රයක් හදුන්වාදෙන්න දැනට තිබෙන පනත අනුව විදුලිබල මණ්ඩලයට කිසිඳු හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිලිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ 

වෙනස්වන ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිබල මණ්ඩලයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථකතනයන් කතා බහට ලක්වෙනවා. මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ විදුලි බිලට මිල සූත‍්‍රයක් ඇතිකරන බවට. 

විදුලිබල මණ්ඩලය ලංකාවේ ඇති ප‍්‍රධානතම සුභසාධන ආයතනක්. ලක්ෂ 60 ක් පමණවන විදුලි පාරිභෝගිකයන්ගෙන් හරි අඩකටම අපි විදුලිය සපයන්නේ නිෂ්පාදන වියදමෙන් හරි අඩකටත් වඩා අඩු මුදලකට. විදුලිබල නිෂ්පාදන වියදමෙන් 60%ක්ම ඉන්ධන සඳහා වැයවනවා. ඒ නිසා ඉන්ධන වල නිතර ඇතිවන මිල උච්ඡාවචනය වීම කෙරෙහි අපිට ඉන්ධන මිල සූත‍්‍රය ඉතා දැඩිව බලපානවා. 

ඒ නිසා අපි මේ තත්ත්වයට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියන කාරණා සොයා බලන්න තමයි කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ. එයින් කිසිසේ්ත්ම අදහස් වෙන්නේ නැහැ විදුලිය සඳහා මිල සූත‍්‍රයත් ගෙන ඒමට යනවා කියලා. මිල වැඩිකරනවා නම් විදුලිබල අමාත්‍යාංශය හැටියට ඒ ගැන කතා කරන්න තිබුණේ මීට ගොඩක් කලකට ඉහතදී. 

අපි විශාල අභියෝග මැද්දේත් ජනතාවට අඛණ්ඩව විදුලිය දුන්නා පවතින මිලටම. මෙම කමිටුව මගින් අපි බාලාපොරොත්තු වෙන්නේ විදුලිබල ක්ෂේත‍්‍රයේ වියදම් අඩුකරගන්නා සෟජු ක‍්‍රම ගැන විමසා බැලීම, විදුලිබල පනත යාවත්කාලින කරගැනිම, සූර්යබල සංග‍්‍රාමයට සහ සුළං බල මෙහෙයුමට දිරිගැන්වීම් ලබා ගැනීම, පාරිභෝජන රටාවන් කාර්යක්ෂම කරගැනීම ආදිය සඳහා විසදුම් ලබාගැනීමටයි.  සුබවාදි විසදුම් සොයන මොහොතක කිසිසේත්ම අසුබවාදි  අනියත බියක් ඇතිකරගත යුතු නැහැ"