ලුණුඔයට පැන්න තරුණයාගේ මරණය ගැන සැකයක්

ලුණුඔයට පැන්න තරුණයාගේ මරණය ගැන සැකයක්

October 17, 2018   10:20 pm

පොලීස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා ලුණුඔයට පනින ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් ලුණුඔයේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොඳුරුව ඇත්තේ බංගදෙනිය,කොට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි රොහාන් කුමාර දසනායක නැමැති තිදරු පියෙකි. 

මේ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු  පසුගිය 15 දා පස්වරුවේ  ලුණුඔය ආසන්නයේ පිහිටි රක්ෂිතයේ සිට ඇති අතර එහිදී හලාවත පොලීසියේ නිලධාරින් පිරිසක් නීති විරෝධී මත්පැන් පෙරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. 

මෙහිදී මියගිය පුද්ගලයා පොලිස් නිලධාරීන් දැක ලුණුඔයට පැන ඇති අතර එහිදී මේ ව්‍යාපාරයේ මහා මොළකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි. 

ලුණුඔයට පනින ලද පුද්ගලයා බේරා ගැනීම සඳහා උදව් ඉල්ලා සිටියත් පොලීසිය ඊට ඉඩ ලබා නොදුන් බව මාධ්‍ය හමුවේ මේ ව්‍යාපාරිකයා විසින් පැවසූ බව වාර්තා වෙයි.

මිට අමතරව තමන් මේ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගියත් පොලීසිය පැමිණිලි බාර නොගත් බව මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු වන අසිත දසනායක අප වාර්තාකරු සමඟ පවසා තිබේ.

මේ මරණය පිළිබඳව සැකයක් තිබීම හේතුවෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය ලබා නොදී හලාවත හදිසි නාගරික මරණ පරීක්ෂකවරයා ගෙන්වා මූලික පරීක්ෂණයක් පමණක් සිදුකළ බව අසිත දසනායක වැඩිදුරටත් පැවසීය.

අප වාර්තාකරු මේ පිළිබඳව විමසීම සඳහා හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය අසාර්ථක වූ අතර පසුව හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේදී පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ  මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හදිසි රාජකාරියකට පොලීසියෙන්  පිටව ගොස් ඇති බවයි.