පාරිභෝගිකයා රකින්න පනත සංශෝධනයට පියවර

පාරිභෝගිකයා රකින්න පනත සංශෝධනයට පියවර

October 16, 2018   07:08 pm

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සමස්ත පාරිභෝගික ජනතාවම සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවත් එම නිසා පාරිභෝගික ආරක්ෂාව වඩාත් සවිමත් කිරීමට කටයුතු කල යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම අදහස් පල කර තිබේ.

කූඨ වෙළඳුන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරිම සඳහාත් ව්‍යාපාරික ප්‍රජාව යහපත් හා ගුණවත් ව්‍යාපාරික සේවාවන් සඳහා පෙළඹවීමටත් අවශ්‍ය වන නෛතික බලතල පාරිභෝගික ආරක්ෂණ පනතට ඇතුලත් කල යුතු බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ පනත ශක්තිමත් කිරීමට අවශ්‍ය සංශෝධන මේ වන විටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් සකස් කර ඇති බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී සඳහන් කල බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.