සයුරෙන් එතෙර

මයිකල්ගේ වේගය තවත් වැඩි වෙයි

October 12, 2018   12:52 pm

මයිකල් සුළි කුණාටුවේ බලපෑමෙන් අමෙරිකාවට දැඩි දේපළ හානි සිදුව තිබේ.

පැයට කිලෝමීටර් 250ක වේගයෙන් හමා ආ සුළිකුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ කැරොලිනා යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල විය.

පසුගියදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය සුනුවිසුණු කරමින් හමාගිය මයිකල් සුළි කුණාටුවෙන් පසු සාමාන්‍යයෙන් හුදෙකලා නගරයක් වූ පෑන්හැඩල් දිස්වූයේ මේ ආකාරයටයි.

මයිකල් සුළි කුණාටුවේ බලපෑමෙන් පරිසරය උඩු යටිකුරු වී නිවාස සහ ගස් විනාශවී ගොස් තිබුණි.

පැයට කිලෝ මීටර් 250ක වේගයෙන් මෙක්සිකෝ බීච් ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුලු වූ මයිකල් සුළි කුණාටුවේ බලපෑමෙන් මුහුදු රළ මට්ටමද ඉහළ ගිය බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

ඒ හේතුවෙන් මෙක්සිකෝ බීච් හි පිහිටි නිවාස කිහිපයක් මුළුමනින්ම විනාශ වී සුන්බුන් බවට පත්ව තිබුණි.

අමෙරිකානු භූමියට ඇතුලු වූ තෙවැනි විශාලතම සුළිකුණාටුව ලෙසින් මයිකල් ඉතිහාසයට එක්විය.

ගොඩබිමට ඇතුලු වීමෙන් පසු වේගය තරමක් දුර්වල වූ මයිකල් සුලිකුනාටුවේ බලපෑමෙන් පසුගිය සමයේ ෆ්ලොරන්ස් සුලිකුණාටුවෙන් පීඩා විඳි ජෝර්ජියා සහ කැරොලිනා ප්‍රාන්තවල කාලගුණයද අයහපත් වූ අතර එම ප්‍රාන්තවලට ධාරානිපාත වර්ෂා ඇති වූ බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.