ජාලිය වික්‍රමසූරියට යළිත් විවෘත වරෙන්තු
October 3, 2018 10:59 am
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(03) ජාලිය වික්‍රමසූරිය මහතාට යළි විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් එම නියෝගය සිදු කරනු ලැබුවා.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර තිබූ මුදල් ද සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබේදැයි යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දැනට අධිකරණය මඟහැර සිටින සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි දන්වා නැවතත් විවෘත වරෙන්තු නිකුත් කිරීමට නියම කළේය.
