ගමක් උණුසුම් කළ අඹ ගස

ගමක් උණුසුම් කළ අඹ ගස

September 14, 2018   03:10 pm

මාර්ගය ආසන්නයේ ඇති අඹ ගසක් කපා ඉවත් කිරීමට ගෙහිමියෙකු ඉඩ නොදීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘතියක් අතරමග නතර කිරීමට සිදුවූ පුවතක් ගාල්ල උණවටුන ප්‍රදේශයෙන් වාර්තා වුණි.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන ප්‍රදේශයෙන් හීනටිගල ප්‍රධාන මාර්ගය ආරම්භ වෙයි.

එම මාර්ගයේ ඇති පොල්දුව පාලමේ පැවති අබලන් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේදි නව පාලමක් ඉදි කිරීමට කටයුතු කෙරුණි.

එහෙත් පාලමේ ඉදිකිරීම් කටයුතු මාසයක පමණ සිට නතර වි ඇත්තේ පාලම සම්බන්ධ වන එක් ඉඩමක ඇති අඹගසක් කපා ඉවත් කිරීමට එම ඉඩම් හිමියා අකමැත්ත පළ කිරීම හේතුවෙන්ය.

එම ඉඩම් හිමියා පවසන්නේ අඹ ගසට හා තම ඉඩමේ කොටසට ලක්ෂ 6 ක මුදලක් අවශ්‍ය බවයි.

එහෙත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා තක්සේරු කර ඇති මුදල රුපියල් ලක්ෂ තුනහමාරකි.

මේ අතර පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින හීනටිගල, පිලාන, ගිනිගල, පොල්දුව ගම්වාසින් එම ස්ථානයට රැස්ව විරෝධතාවක නිරත වුණි.

එහිදි මෙම ගැටලුව සමතයකට පත් කිරී සඳහා ප්‍රදේශයේ වැඩිහිටියන්, හිමිවරු ,පොලීසිය හා විජයපාල හෙට්ටිඅරච්චි මන්ත්‍රිවරයා මැදිහත් වුවද එය සාර්ථක වුයේ නොමැති බව වාර්තාවෙයි

අනතුරුව එම ස්ථානයට පැමිණි අක්මිමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම බලතල අනුව අඹ ගස ඉවත් කිරීමට හැකියාවක් ඇති බැවින් අඹ ගස කපා දැමීමට නියෝග කළේය.

මේ අතර එම ස්ථානයට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා නිවෙස් හිමියන් සමඟ සාකච්ඡා කළ අතර එහිදි ලක්ෂ හතරහමාරක මුදලකට ගස් ඉවත් කිරීමට එකඟ කර ගැනුණි.