මැදපෙරදිග සුරක්ෂා නිවාසවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අඩුවීමක්

මැදපෙරදිග සුරක්ෂා නිවාසවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අඩුවීමක්

August 21, 2018   06:13 am

මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවල විවිධ හේතූන් මත රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල වශයෙන් අඩුවෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

සුරක්ෂා නිවාසවල රඳවාගෙන සිටි ශ්‍රමිකයින්ගේ ගැටළු හැකි ඉක්මනින් විසඳා ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව සුරක්ෂා නිවාසවල රඳවාගෙන සිටින ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති නිසා මෙම සංඛ්‍යාව අඩුවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මේ වන විට මැදපෙරදිග රටවල සුරක්ෂා නිවාසවල සිටින ශ්‍රමිකයින් අතරින් වැඩිම ශ්‍රමිකයින් පිරිසක් සිටින්නේ කුවේට් හා රියාද් තානාපති කාර්යාලවල පිහිටි සුරක්ෂා නිවාසවලය. 

කුවේට් තානාපති කාර්යාලයේ  105 ක් සිටින අතර රියාද් තානාපති කාර්යාල සුරක්ෂා නිවාසයේ 41 ක් රැදී සිටී. 

අනෙක් රටවල තානාපති කාර්යාලවල සුරක්ෂා නිවාසවල සිටින සමස්ත ශ්‍රමික පිරිසක 105කි.

ඊශ්‍රායලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, බහරේන් හා මාලයිවයින යන රටවල සුරක්ෂා නිවාසවල මේ වන විට කිසිදු ශ්‍රමිකයෙක් රැදී නොසිටී.

ශ්‍රමිකයින්ට මුහුණදීමට සිදුවන ගැටලු නිසා සුරක්ෂා නිවාසවල රඳවා සිටින නමුත් ඔවුන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කම්කරු අංශ ප්‍රධානීන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් තානාපති කාර්යාලවලට පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මනුෂ නානායක්කාර මහතා පවසයි.

විවිධ ගැටළුවලට මුහුණදෙන ශ්‍රමිකයින් තානාපති කාර්යාවලට පැමිණි විට සුරක්ෂා නිවාසවල රඳවා තබන නමුත් ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමේ ක්‍රමවේදය වේගවත් කිරීමට කටයුතු කරන බවද ඒ සඳහා නිලධාරීන්ට දැඩි උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසුවේය. 

ශ්‍රමිකයින් සුරක්ෂා නිවාසයක රඳවා නොගෙන ඔවුන්ගේ ගැටළු කඩිනමින් විසඳා නැවත සුදුසු සේවා ස්ථානයක් ලබාදීමට හෝ ලංකාවට ගෙන්වා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.

2017 සිට 2018.07.31 දක්වා කාලය තුළ සුරක්ෂා නිවාසවල සිටි 1826ක පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන ඇත.