වසර පහකට පසු වාන් දොරටුවලටත් උඩින් වාන් දාන කාසල්රි ජලාශය

වසර පහකට පසු වාන් දොරටුවලටත් උඩින් වාන් දාන කාසල්රි ජලාශය

August 18, 2018   08:46 am

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ සියළුම වාන් දොරටුවලට ඉහලින් අද (18) අළුයම වාන් දැමීමට පටන්ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය කියයි.

මවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැඟින් විවෘත කර ඇති අතර ,කැනියොන් සහ ලක්ෂාපාන ජලාශවල සියළුම වාන් දොරටු විවෘත කර ඇති බව විදුලි බල මණ්ඩලය කියා සිටියේය.

විමසුරෙන්ද්‍ර ජලාශයද වාන් දමමින් පවති.

හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදෙශයෙන් තේ වත්තේ කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටි තවදුරටත් නායයාමේ අවධානමක් නිසා ඊයේ (17)  අවස්ථා කිහිපයකදි මාර්ගය වසා දමා තිබුණි.

එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයම ආසන්නයේ නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය කාර්යයාලයේ නිලධාරින් විසින්  තවකාලික මාර්ගයක් අලුතින් කපා එම මාර්ගය ඔස්සේ රථ වාහන ගමනාගමනයට එක මං තිරුවක් විවෘත කර ඇත.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ දැඩි අධික්ෂණය යටතේ එම ස්ථානයෙන් රථ වාහන ධාවනය කරනු  ලබයි.

පවතින අධික වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගයට අසල දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබු බවත්, එම පස් කනද් මේ වන විට ඉවත්  කර උඩරට දුම්රිය මාර්ගය සකස් කර ඇති බව හැටන් දුම්රිය ස්ථාන‍යේ නිලධාරියෙකු කියා සිටියේය.