කොචින් ගුවන්තොටුපල වසාදැමීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කඩිනම් පියවර

කොචින් ගුවන්තොටුපල වසාදැමීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කඩිනම් පියවර

August 18, 2018   07:16 am

දකුණු ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපල වසාදැමීම හේතුවෙන් එම මගීන්ට මුහුණපෑමට සිදුව ඇති අපහසුතා අවම කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනම් පියවර රැසක් ගෙන තිබේ.

දැනට පවතින ආපදා තත්ත්වය හමුවේ එම ගුවන්තොටුපල ලබන 26 වන දින දක්වා වසා තැබීමට එම බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන් වේ.

ඒ අනුව කොචින් සිට කොළඹට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් මෙහෙයුම් සිදුකරන ට්‍රිවෙන්ඩ්‍රම් හරහා හෝ දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගමනාන්තයක් හරහා තම ගුවන් සංචාරය සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ සදහා කිසිඳු අමතර අය කිරීමක් සිදුනොකරන බව ශ්‍රි ලංකා ගුවන් සමාගම පවසයි.

මීට අමතරව කොළඹ සිට කොචින් දක්වා පියාසර කිරීමට නියමිත මගීන් සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දියාවේ ට්‍රිවෙන්ඩ්‍රම් හෝ වෙනත් ඕනැම ගමනාන්තයක් වෙත පියාසර කිරීමට පහසුකම් සලසා ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කළේය.