කොල්ලුපිටියේ නීතිවිරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් උකුසු ඇසට හසුවෙයි

කොල්ලුපිටියේ නීතිවිරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් උකුසු ඇසට හසුවෙයි

July 21, 2018   10:18 pm

ජයට බදුමුදල් අහිමිකරමින් පවත්වාගෙන ගිය නීති විරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද අනාවරණය ඒ පිළිබඳවයි.

කොල්ලුපිටිය වාලුකාරාම මාවතේ පිහිටි එක්තරා ගොඩනැගිල්ලක සමාජ ශාලාවලට බෙදා හැරීම සඳහා විදෙස් මත්පැන් සහ විදෙස් දුම්වැටි නීති විරෝධී අයුරින් ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමග එක්ව රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව උකුස්සා එම ස්ථානයට රහසිගතව ළඟා වන්නේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද සමඟින්.

අනතුරුව එම ගබඩාවට ඇතුළු වූ සුරාබදු නිලධාරීන් එහි එක් ගබඩා කාමරයක් පළමුව සෝදිසි කළේය.

එහිදි ගබඩා කර තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සොයා ගනු ලැබීය.

අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක්ද මෙහි ගබඩාකර තිබියදී සොයාගනු ලැබීය.
 
මෙහිදී සොයාගනු ලැබූ විදෙස් මත්පැන් බෝතල් තීරුබදු රහිතව ලබා ගත් ඒවා බව මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

අනතුරුව මෙහිදී සොයාගනු ලැබූ විදෙස් මත්පැන් බෝතල් සහ විදෙස් දුම්වැටි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිය භාරයට ගනු ලැබූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වෙයි.

රජයට බදුමුදල් අහිමි කරන මෙවැනි නීති විරෝධී ජාවාරම් ඉදිරියේදීත්  නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.