බන්ධනාගාර තුළම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් නීති පද්ධතියම විහිළුවට ලක්වෙලා

බන්ධනාගාර තුළම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් නීති පද්ධතියම විහිළුවට ලක්වෙලා

July 12, 2018   05:06 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අද(12) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ගෙන යන ජාතිවාදී කථාව මඟින් රට තුළ ජාතිවාදය වැපිරීමට දරණ උත්සහයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම රජයක් ලෙස කිසි විටෙකත් සිදු නොකරන බවත් එලෙස එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් කිසිදු දිනක එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි හිස එසවීමට ඉඩනොදෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර, මරණ දණ්ඩනය රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීම සමාජය ආරක්ෂා කර ගැනීමට ගත් පියවරක් බවත් එය ඉතා යහපත් තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය චෝදනාව මත බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් බන්ධනාගාරය තුළ සිටිමින් එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් නීති පද්ධතියම අද වන විට විහිළුවට ලක්ව ඇති බව ද පැවසු ඇමතිවරයා සිංගප්පූරුව වැනි රටවල කුඩු ග්‍රෑම් එකක ප්‍රමාණයක් තිබිය දීත් මරණ දණ්ඩනය නියම කරන බව පැවසීය.