බිරිඳ ඝාතනය කළ සැමියාට වැඩ වරදී

බිරිඳ ඝාතනය කළ සැමියාට වැඩ වරදී

June 24, 2018   08:48 am

 

තම බිරිඳට පිහියකින් පහර දී ඝාතනය කර තමන්ද පිහියකින් කපා ගෙන තුවාල සිදු කරගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී සිටි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලසීය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තල - කුරුණෑගල පාර, විල්ලුව වත්ත පදිංචිව සිටි සචිනි නිමේෂා නම් 24 හැවිරිදි විවාහක කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගොස් ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා බව කියන කරුණාතිලක වික්‍රමලාගේ සොලුස් ප්‍රියංකර මිහිරාන් නැමති 25 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියෙක් බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 21 වැනිදා සවස 4.00 ට පමණ නිවසේ ඇති වූ බහින් බස් වීමකින් පසුව සැකකරු විසින් තම බිරිඳට පිහියකින් පහර දී තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි.

ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඊයේ(23) සවස මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර එම සිද්ධියෙන් පසුව සැකකරු පිහියකින් තම උදරය කපා ගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිකර ලබමින් සිටින විට සැකකරුව අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසිය කටයුතු කර ඇත.

ඊයේ සවස පුත්තලම මූලික රෝහලට පැමිණි පුත්තලම මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශව සිදුකරයි.