දිවියෙකු පහර දී 10ක් රෝහලට-වනජීවි නිලධාරීන්ගේ පරක්කුව නිසා දිවියා ජීවිතයට සමුදෙයි

දිවියෙකු පහර දී 10ක් රෝහලට-වනජීවි නිලධාරීන්ගේ පරක්කුව නිසා දිවියා ජීවිතයට සමුදෙයි

June 21, 2018   03:27 pm

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුරුව ප්‍රදේශවාසීන් දිවියාට පහරදි අද(21) දහවල් මරා දමා තිබේ.

දිවියා ගම්වැදී ඇති ප්‍රදේශවාසීන්ට පහරදි ඇති අතර ප්‍රදේශවාසීන් එහිදි වනජිවි නිළධාරීන්ට දැනුම් දී ඇති අතර,වනජිවි නිළධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

දිවියා අද උදැසන අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැලෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට පහරදි ඇති අතර,එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට තිබිණ.

වනජිවි නිළධාරීන් දිවියා අල්ලා ගැනීමට උදැසන 11 ට පමණ පැමිණ ඇති අතර, එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වනජිවි නිලධාරීන්ට චෝදනා කොට ඇති අතර වනජිවි නිලධාරීන්ද එහිදි අපහසුතාවයට පත්ව නැවත හැරී ගිය බව ප්‍රදේශවාසීන් පිරිසක් පැවසීය.

වනජිවි නිලධාරීන් නැවත පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා අල්ලා ගැනීමට පිටත්ව ගොස් ඇති අතර,අදාළ අවස්ථාවේදී දිවියා කැලෑවේ පඳුරකින් එළියට පැමිණ පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරු බවත් එහිදි ගම්වාසීන් විසින් පොලු මුගුරුවලින් පහරදී දිවියා මරා දැමු බවද කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ දිවියා ගම්වැදීමට හේතු‍ව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, ගම්වැදුණ දිවියා ගම්මානය හරහා ගමන් කරමින් පිරිසට පහරදීම සිදුකොට ඇති බවයි.

දිවියා පහරදීමෙන් වනජිවි නිලධාරීයෙකුද තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

දිවියා පහරදීමෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.