නව සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සඳහා ඉල්ලුම්පත් හා අභියාචනා කැඳවයි

නව සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සඳහා ඉල්ලුම්පත් හා අභියාචනා කැඳවයි

June 14, 2018   09:46 pm

 

සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ සුදුසුකම් ලබන පවුල් 150,000 ක් සදහා සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව දිළිඳුකම පිටු දැකීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සහනාධාර වැඩසටහන සඳහා නව ප්‍රතිලාභීන් හදුනා ගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා පවසයි.

සමෘද්ධි වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල් ජාතික සංවර්ධන ප්‍රවේශයට දායක කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් බැවින් ඒ සඳහා යොමු විය හැකි සුදුසුකම් සහිත පවුල්වලට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.

මෙහිදී දැනට සමෘද්ධි සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ මූලිකයන් විසින් ගෘහ මූලිකයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංක, වයස, පවුලේ වර්තමාන ආදායම් මාර්ග සහ වෙනත් අදාළ තොරතුරු ආදිය ඇතුළත් අයදුම් පත්‍රයක් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ යුතු වෙයි.

සමෘද්ධි සහනාධාර බලාපොරොත්තුවෙන් මේ වන විටත් විවිධ පුද්ගලයින් සහ ආයතන වෙත ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති අය ද නව ක්‍රමය යටතේ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

මේ සඳහා ඉල්ලුම් කරනු ලබන පවුල ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ හැකියාවක් සහිත විය යුතු අතර එම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව දායකවිමේ හැකියාව සහිත විය යුතුය. 

තවද ඉල්ලුම්කරු පවුලේ සාමාජිකයින් සමෘද්ධි ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක විවිධ වැඩසටහන් සඳහා ක්‍රියාශීලීව දායකවීම මඟින් තම පවුලේ සමාජ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කර ගැනීමට වුවමනාවක් සහ හැකියාවන් සහිත විය යුතුය.

සමෘද්ධි සහනාධාර ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී සුදුසුකම් සහිත පවුල් දැනුම්වත් කොට ඒ සඳහා ඔවුන් යොමු කිරීමට අදාළ ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ට හෝ සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන්ට හැකියාවක් ඇත.

මේ සඳහා ලැබෙන ඉල්ලුම්පත් පරීක්ෂා කිරීම හා ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු කොට්ඨාස මට්ටමේ ග්‍රාමීය කම්ටුවකින් සිදු කරනු ලබන අතර ඒවා ප්‍රමුඛතා මට්ටමින් හඳුනා ගැනීම අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කරනු ඇත. පසුව ලැබෙන හා තහවුරු කර ගන්නා තොරතුරු මත ප්‍රමුඛතා ලේඛන වෙනස් වීමේ හැකියාව පවතී.

2018.07.31 වන දින දක්වා ලැබෙන සුදුසුකම් සහිත අයදුම්පත්/පවුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ පළමුවටයේ ප්‍රමුඛතා ලේඛනයට ඇතුලත් කොට සමෘද්ධි වැඩසටහනේ ප්‍රතිලාභියෙකු ලෙස හඳුනා ගනු ඇත.