නොරොච්චෝලයේ බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට පියවර ගන්නවා

නොරොච්චෝලයේ බලාගාරය පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට පියවර ගන්නවා

June 14, 2018   09:07 pm


රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් සපයන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ජාතික අවශ්‍යතාවක් බැවින්, එමඟින් පරිසරයට සහ ජනතාවට සිදුවෙතැයි පවසන හානි සහ අපහසුතා අවම වන අන්දමින්, පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍වසයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අද (14) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග බොහෝමයක් මේ වනවිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව පරිසර අධිකාරිය විසින් විෂයබාර අමාත්‍යවරයාට ස්තුතිය පුදකර සිටියේය.

ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ නිර්දේශ මත වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බවට විෂයභාර අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකශ කළේය. 

ඒ අනුව ඉදිරියේදී  සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. 

ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසන ලදී.