කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබා පළා ගිය පුද්ගලයා හඳුනාගනියි

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තබා පළා ගිය පුද්ගලයා හඳුනාගනියි

June 13, 2018   07:18 pm


කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය පුද්ගලයා හිටපු මහසෙන් දේවාලයේ කපු මහතෙකු වන බෝපගෙදර අසේල ලක්ෂ්මන් බංණ්ඩාර බවට හඳුනා ගෙන ඇතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
 

මේ අතර කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවටගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සදහා සැකකරු  මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. 

කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරින්, තංගල්ල කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.