ගිනිගත්හේනේ පවුල් 1500 පාරට බසී-වැඩේ නවත්වන්න අධිකරණ නියෝගයක් එයි

ගිනිගත්හේනේ පවුල් 1500 පාරට බසී-වැඩේ නවත්වන්න අධිකරණ නියෝගයක් එයි

June 13, 2018   03:42 pm

ගිනිගත්හේන නගරයේ සිට පේරගොල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය හා කපුගෙදර, හැබ්බෑකන්ද හරහා හොරකඩ දක්වා දිවෙන කිලෝ මීටර් 09 ක පමණ දුර අබලන් මාර්ගය කඩිනමින් කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වු බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

අද (13) පෙ.ව. 11.15 ට පමණ ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලේදී ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය

පේරගොල්ල, කපුගෙදර, හැබ්බෑකන්ද හා හොරකඩ යන පාරම්පරික ප්‍රධාන ගම්මාන ඇතුළු ප්‍රදේශ රැසක් හරහා දිවෙන මෙම මාර්ගයේ පවුල් 1500 කට ආසන්න පිරිසක් ජීවත්වන බවත්,  දිනපතා ලංගම හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රැසක් ධාවනය කෙරෙන බවත් පවසන උද්ඝෝෂකයෝ මේ වන විට මාර්ගයේ තාර ගැලවී විශාල වළවල් හෑරී පයින් පවා ගමන් කළ නොහැකි අයුරින් දැඩි ලෙස අබලන්ව ඇති මාර්ගයක් බවට පත්ව ඇචති බව අප වාර්තාකරු පසඳහන් කළේය.
 
වසර 06 කට වැඩි කාලයක්  අබලන්ව පවතින මෙම මාර්ගය අලත්වැඩියා කර දෙන ලෙස දේශපාලනාධිකාරියෙන් හා අනෙකුත් වගකිවයුත්තන්ගෙන් කරන ලද ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බව පවසන උද්ඝෝෂකයෝ කඩිනමින් තම ඉල්ලීම ඉටුකර නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ උදඝෝෂණ ක්‍රියාවලියක් සිදුකරන බවද කියා සිටිති.

ප්‍රධාන මාර්ග අවහිර නොකරන ලෙසට ගිනිගත්හේන පොලීසිය මඟින් හැටන් මහේස්ත්‍රාත් අධීකරණයෙන් වෙතින් ලබාගත් නියෝගයක්ද මෙහිදී  පොලීසිය උද්ඝෝෂකයින්ට ලබා දෙන ලදී.

මෙම උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් එක්ව සිට බව අප වාර්කරු පවසයි.

ඡායාරූප -චන්දන ජයවීර