අපි වවලයි - අපි කන්නේ

අපි වවලයි - අපි කන්නේ

June 11, 2018   03:52 pm

කොස් ගස් පුනරුද ව්‍යාපාරයේ නිර්මාතෘ ආතර් වී දියෙස් මැතිතුමා එම ව්‍යාපෘතිය ආරම්භ කර වසර 100 ක් සැපිරීම නිමිත්තෙන් සහ “අපි වවලයි - අපි කන්නේ”වගා ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් කොස් පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ වැඩපිළිවෙල අද දින (11) පානදුර ජෙරමියස් දියෙස් කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල හඳුන්වාදුන් අතර එහි ප්‍රධාන ව්‍යාපෘතියක් වූයේ කොස් පැළ දසලක්ෂයක් දීප ව්‍යාප්තව රෝපණය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමයි.

එම වැඩසටහන අද දින ආරම්භ වූ අතර එම අවස්ථාවට විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරු මෙන්ම ආතර් වී දියෙස් මැතිතුමාගේ මිණිබිරියක වන රංජනී දියෙස් මහත්මිය ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී කොස් පැළ ගොවි පවුල් වෙත බෙදාදුන් අතර කොස් දන්සලක් ද සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.

“ආතර් වී දියෙස් මැතිතුමා දේශපාලඥයෙකු නොවූවත් එතුමා කිසිදිනෙක දේශපාලඥයින් ඉදිරියේ දණ නොනැමූ උතුම් පුද්ගලයෙක්. විශේෂයෙන්ම රටට නිදහස ලැබුණු අවස්ථාවේ ඒ මහතා තම නිවසේ කොඩි 03 ක් එල්ලනු ලැබී ය.  එකක් ජාතික කොඩියයි. අනෙක බෞද්ධ කොඩියයි. අනෙක් කොඩිය කලු කොඩියක් විය. රටට නිදහස ලැබුනත් මේ රට කිසි දිනෙක විදේශ රටවලින් නිදහස් නොවන බව එතුමා එදා දැන සිටියේ ය.

අද අපි කෝටි දසදහසක් විදේශ රටවලට ණය වී සිටින්නෙමු. කිරි දරුවෙක් පවා රුපියල් ලක්ෂ 04 ක් වර්තමානයේ විදේශ රටවලට ණය වී සිටී. මේ තත්ත්වයෙන් ගොඩඒමට නම් අප කළ යුත්තේ අපට අවශ්‍ය දේවල් අප රටේම නිපදවා ගැනීමයි. “අපි වවලයි - අපි කන්නේ”වැඩසටහන ආරම්භ කළේ ඒ නිසායි. අපිට අවශ්‍ය දේ අපි අපේම රටේ නිපදවා ගැනීමේ වැඩ පිළිවෙලකට අපි යොමු විය යුතුයි. 

අප රටේ සෑම ප්‍රදේශයකම පැණි දොඩම් වගා කළ හැකි නමුත් වසරකට රු.මි. 958 ක් වැයකර විදේශ රටවලින් මෙරටට දොඩම් ආනයනය කරනවා.  එසේම මිදි ආනයනය සඳහා අපි වාර්ෂිකව වැයකරන මුදල රු.මි. 2,766 ක්. අප රටේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි කහ සහ ඉඟුරු තවමත් විශාල වශයෙන් මෙරටට ආනයනය කරනවා.  

ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රු.මි. 1,315 ක්. රටපුරාම තිබෙන හිස් ඉඩම්වල මෙන්ම පොල් රබර් වගාවන් අතරේත් ඉගුරු සහ කහ වගා කළ හැකියි. ඒ සඳහා ලෝක වෙළෙඳ පොල තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. අපේ ගොවීන්ට එමගින් විශාල ආදායමක් උපයා ගත හැකියි. 

අද මෙම අවස්ථාවට ආතර් වී දියෙස් මැතිතුමාගේ පවුලේ සාමාජිකයින් පැමිණ සිටිනවා. ආතර් වී දියෙස් මහතා කොස් සිටුවීමේ ව්යා පාරය ගෙන ගියේ ජාතික සේවාවක් වශයෙන්. එතුමා හොඳ දානපතියෙක්. සමාජ  සේවකයෙක්. ඒ වගේම දේශප්‍රේමියෙක්.  

කොස් වගාව ප්‍රචලිත කිරීම සඳහා මෙන්ම කොස්ගස් ආරක්ෂා කර ගැනීම සඳහාත් ඒ පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීමටත් සුදුසු පරිදි කොස් සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා.   

ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් එක්ව ඒ පිළිබඳ පවතින නෛතික තත්ත්වයන් සලකා බලා කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. “