විජයග්‍රහණයේ සැමරුම රාජ්‍ය උත්සවයකින් සැමරීමට හැකි පරිවර්තනයකට පෙළගැසෙමු

විජයග්‍රහණයේ සැමරුම රාජ්‍ය උත්සවයකින් සැමරීමට හැකි පරිවර්තනයකට පෙළගැසෙමු

May 19, 2018   09:46 am

 

 

2015 ජනවාරි 8 වැනිදා සිට අපේ මව් පොළොවට, අපේ ඓතිහාසික සභ්‍යත්වයට, අපේ සිතුම් පැතුම්වලට හා අපේ විරුවන්ට රැහැනිව යන ගමන පරදවා, දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් සහිතව සැමරීමට හැකි ආකාරයේ පරිවර්තනයකට මුළුමහත් ජාතියම පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ අද (18) පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

මීට වසර නවයකට පෙර එනම් 2009 මැයි 19 වැනිදා මේ රටේ ජනතාව පක්ෂපාට, කුලමල භේදයකින් තොරව ජාතික කොඩිය අතට අරගෙන පාරට ඇවිත් කැවුම්, කිරිබත් කාලා මහා සතුටක් භූක්ති වින්ඳා. ඒ මහා සතුට අපට උරුම කරලා දුන්නේ මේ රටේ රණවිරුවෝ.

රනිල් වික්‍රමසිංහලා කොටි සංවිධානය සමඟ ගිවිසුම් ගහලා, විදේශ සාම නියෝජිතයෝ මේ රට ඇතුළට රිංගලා තිබිය දී තමයි 2005 ජනාධිපතිවරණය ආවේ. ඒ වන විට අපේ ඇස්පනාපිට වෙනම රාජ්‍යයකට අදාළ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කෙසේ වෙතත් එදා ඒ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය නොකළා නම් අපට අද ‘විජයග්‍රහණයේ සැමරුම’ කියා සාකච්ඡාවක් කිරීමටවත් අවස්ථාවක් උදා වන්නේ නැහැ. වන්නියේ හිටපු වේලුපිල්ලේ පිරබාහරන්ට කතා කරන භාෂාව දැන සිටියේ ගිරුවාපත්තුවේ මැදමුලන උපන් මහින්ද රාජපක්ෂ මිස ප්‍රංශයේ සෝබෝන් සරසවියේ රස්තියාදු ගහපු අම්මණ්ඩිලා හෝ කුරුඳුවත්තේ කුල්ටූර් පැලැන්තියේ පොෂ් මහත්තුරුවත් නොවෙයි. සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තත් පිරබාහරන්ට එරෙහිව සටන් වැදීමේ අභියෝගය මහින්ද රාජපක්ෂයන් බාරගත්තා. ඒ අනුව තමයි යුද හමුදා ක්‍රියාන්විතවල හිටපු ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම් ධුරය ලැබුණේ. ඒ වගේම විශ්‍රාම යාමට මාසයක් තිබුණු සරත් ෆොන්සේකාට යුද හමුදාපති ධුරය ලැබුණා.

‘ෆොන්සේකාගෙන් ඉල්ලීමක්’

මට මෙතැනදී අතුරු කතාවක් මතක් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා. මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන් දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි. දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ. කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි. සියලු ආරක්‍ෂක ප්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා. ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.

‘අවමන් මැද්දේ ඉදිරියට’

ඔබට මතක ඇති එදා සමහරු 2009 වසරේ අය - වැය පරද්දලා අපේ හමුදාව කිලිනොච්චියෙන් එහාට යන එක නතර කරන්න හැදුවා. එදා ක්‍රමක්‍රමයෙන් අපේ විරෝදාර හමුදාවන් ඉදිරියට යන විට ‘තොප්පිගල කියන්නේ කැලෑවක්. හමුදාව කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා, ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්’ ආදී වශයෙන් අවමන් කළා. එවැනි පිරිස් වචනයකින්වත් උදව් නොකර ඒ විරෝදාර මොහෙයුම්වලට අකුල් හෙළද්දී තමයි, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය ජයග්‍රහණ අත්කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව පෙරට ගියේ. එවැනි ජාතියේ හතුරන් අතලොස්සක් හැර එදා මුළු රටම ස්වේච්ඡා බුද්ධි අංශයක් බවට පත් වුණා. බස් රථයේ මගියා, ත්‍රිරෝද රථ රියදුරු කොටි ත්‍රස්තයන් ගැන එදා විමසිල්ලෙන් හිටියා. රණවිරුවා මුල්කොට ගත් පූජා මූලික මෙහෙයුමක් මගින් තමයි එදා ඒ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මහා විජයග්‍රහණයට පාර කපා ගත්තේ. මීට කලිනුත් සටන් තිබුණානේ. නමුත් මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය, රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය හා මුළුමහත් ජාතියේම දායකත්වය යන සියල්ල නිසයි මේ මහා විජයග්‍රහණය සිදු වූයේ.

‘අද රට බේරාගත් නායකයාට හොරා කියනවා’

එදා ලක්‍ෂ ගණනින් හමුදාවට එක්වූයේ මුළුමහත් ජාතියම මේ කොටි පැරදවීමේ සටනට ඒකාත්මික වූ නිසයි. එදා රාජ්‍ය නායකයා තම දරුවා නාවික හමුදාවට බැන්දෙව්වා. අද ඒකටත් අවමන් කරනවා. රට බේරාගත් නායකයා අද හොරෙක් වෙලා. මිනීමරු ත්‍රස්තවාදියකු වූ පිරබාහරන් මහත්තයෙක් වෙලා. උතුරු පළාත් සභාව පළාත් කොඩිය නිල වශයෙන් අඩකුඹු කරලා, ජනසංහාරක සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රජයේ මුදලින් දැන් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමරන්න ස්මාරකයක් ඉදි වෙනවා. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ගිනිසිළුවක් සහිත වාහනයක් ඉදිරියේ තබාගෙන අද වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට යමින් සිටිනවා.

‘රාජිතගේ දරුවන්ගේ හපන්කම්’

මේ පිළිබඳව මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළාම එයා කියනවා, ‘ඒකට කමක් නැහැ ඒ සමරන්නේ අපේ දරුවොනේ’ කියලා. දළදා හාමුදුරුවන්ට, අපේ රටේ මුදුන් මල්කඩට බෝම්බ ලොරියකින් පහර දුන්නේ, මහා සංඝරත්නය කපා කොටා මරා දැමුවේ, සජිත්ගේ සහ නවීන්ගේ තාත්තලා මරා දැමුවේ, දුම්රිය බෝම්බ, බස් බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ මගින් සිවිල් ජනතාව මරා දැමුවේ, තර්ජිත ගම්මානවල අහිංසක ජනතාව කපා කොටා මරා දැමුවේ, මේ රට ලේ විලක් කළේ ඔය කැබිනට් ප්‍රකාශකයා කියන එයාගේ දරුවෝ විසින්. ඒ තමයි එයාගේ දරුවන්ගේ හපන්කම්. ඒ දරුවන්ගෙයි රාජිත සේනාරත්නගෙයි ජානමය ලක්‍ෂණ සමාන ඇති. එයාලා රාජිතගේ අතිජාත පුත්‍රරත්නයන් තමයි. ඒ විදියට ‘රාජිතගේ පුත්තු’ සැමරෙනකොට අපට මීට වසර 09කට පෙර ‘රාජිතගේ පුත්තු’ පරදවලා ලබා ගත්තු විජයග්‍රහණය සමරන්න තහනම් වෙලා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියෙන් අපට කියනවා ‘විජයග්‍රහණයේ සැමරුම නතර කරන්න’ කියා. නමුත් අද උතුරු පළාත් සභාවට ‘ජන සංහාරක සතිය සහ දිනය’ බාධාවකින් තොරව සමරන්න ඉඩකඩ නිර්මාණය කර දී තිබෙනවා.

‘රණවිරුවන් මේ පොළොව බේරා ගත්තාම උතුරට ලැබුණු දේ’

රණවිරුවන් ජීවිත පුදලා මේ පොළොව බේරගත්තාම තමයි උතුරේ ගොවියාට කුඹුරට යන්න, අනෙකුත් වගාවන් කරන්න ඉඩ ලැබුණේ. ඒ වගේම දරුවන්ට ඉහළ කුසලතා සහිතව විභාග සමත්වීමට ලැබුණේ. මේ නිසා අද උතුරේ මධ්‍යස්ථ සාමාන්‍ය දෙමළ ජනයාට අවශ්‍ය නැහැ, දෙමළ බෙදුම්වාදයට ගිනි පිඹින්න. නමුත් මේ රූකඩ ආණ්ඩුව බෙදුම්වාදී කල්ලි පිනවලා ඒ මධ්‍යස්ථ දෙමළ ජනතාවත් අරගෙන යන්නේ අන්තවාදයේ ගොහොරුවට. එහෙම අන්තවාදයේ ගොහොරුවට ඔවුන් ඇදගෙන යන්න දීලා අපට ‘සහජීවන බණ’ කියනවා. සහජීවනය තමයි මේ රණවිරුවන් නිර්මාණය කළේ. සහජීවනයට තිබූ තීරණාත්මක ත්‍රස්ත බාධකය තමයි ඔවුන් විසින් ඉවත් කරනු ලැබුවේ. ඒ ත්‍රස්ත බාධකය ඉවත් කළාම ආපසු යාල්දේවි දුම්රිය උතුරට යන්න පටන් ගත්තා. දෙමළ - සිංහල මිනිස්සු ආයෙත් එකතු වෙන්න, ආදරය කරන්න පටන් ගත්තා. පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තවාදීන් නළුවන්, ගායකයන් බවට පත්වුණා. ඔවුන් සිංහල සමාජය විසින් ආදරයෙන් වැලඳගත්තා. ඒක තමයි සැබෑ සහජීවනය නිර්මාණය වන විදිහ. බොත්තමක් ඔබපුවාම සහජීවනය පැටව් ගහන්නේ නැහැ. දැන් සිදු වෙමින් පවතින්නේ මානුෂීය මෙහෙයුමින් පසුව ගොඩනැගෙමින් තිබූ සහජීවනය මරා දැමීම.

‘ධර්මය රකින රට, රැකීම’

උතුරු පළාත් සභාව ජන සංහාරක සතියක් නම් කරලා, පිරබාහරන්, තමිල් චෙල්වම් හා පොට්ටු අම්මාන්ගේ නමින් පාරවල් හදලා, මේ තුන්දෙනා ගැන ලියැවුණු වීර කාව්‍යයන් දෙමළ තරුණයන්ට කියවන්න දීලා යළිත් ඔවුන් ඒ පාපී අරමුණ කරා අරගෙන යනවා. යුද්දෙන් බෙදන්න බැරි වුණු මේ මව් පොළොව වෙනත් ආකාරයකින් බෙදන්නයි මේ අය සූදානම් වෙන්නේ. මේ රට කිසිදාක යුද්ධයෙන් බෙදන්න බැහැ. ඉතිහාසය පුරා අවසන් මෙහොතේදී හෝ රට බේරා ගැනීමට අපේ රණවිරුවන්ට හැකි වුණා. එදා එළාරගේ විජිතපුර ඇතුළු මහා බලකොටු බිඳිමින් දුටුගැමුණු රජතුමා අවසන් ජයග්‍රහණය තෙක් සටන් වැඳුණේ මේ ‘ධර්මය රකින රට’ රැක ගන්න. මේ රටේ වැදගත්කම ඒකයි. මේ රට උතුම් ධර්මයක් රකින රටක්. ඒ ධර්මය අපට නිතැතින්ම සහජීවනය උගන්වනු ලැබුවා. ඒ ධර්මය විශ්වයේ ජීවී අජීවී සියලු දේට ආදරය කරන්න, ගරු කරන්න උගන්වපු ධර්මයක්.

‘විජිතපුර ඩෝසර් කරන්න කලින් දා ඇමති අනුරාධපුරයට ඇවිත්’

අපි කලින් සඳහන් කළ ඒ විජිතපුර බලකොටුව බිඳ දමා දුටුගැමුණු රජතුමා අවසන් සටන සිදු කළ ස්ථානය පසුගිය දිනවල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර තිබුණා. ඒ වගේම ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක නටඹුන් ද ඩෝසර් කර දමා තිබුණා. අද මේ රටේ පුරාවිද්‍යා අණපනත් මරා දමා තිබෙනවා. විජිතපුර බලකොටුව තිබූ ස්ථානයේ අද නිවාස ව්‍යාපෘති සෑදීමේ මුවාවෙන් නිදන් හාරනවා. ඔන්න අද විජයග්‍රහණයක් අත්කර ගත් රටකට ගිය කල. නිවාස ව්‍යාපෘතියට විජිතපුර බලකොටුව පිහිටි ප්‍රදේශය ඩෝසර් කරනකොට ඊට කලින්දා රාත්‍රියේ අදාළ ඇමතිවරයා අනුරාධපුරේ හෝටලයක හිටියලු. අපි ළඟ ඒ සියලු තොරතුරු තිබෙනවා. මහා විජයග්‍රහණය කින් පසුව පාලනතන්ත්‍රයේ සිදු වූ වෙනසින් විජයග්‍රහණයේ සැමරුම නතර වී මෙවැනි පාපතර ක්‍රියා වන්ට ඉඩ ලැබී තිබෙනවා.

‘අද රණවිරුවන් හිරේ දමලා’

රණවිරු ගීත, රණවිරුවා කියන වචනය පවා අද මාධ්‍ය ඔස්සේ අහන්න ලැබෙන්නේ නැහැ. රණවිරුවාට තිබූ අභිමානය අද මරා දමලා. මේ අපි කතා කරන මොහොතෙත් රණවිරුවන් පිරිසක් හිරගෙවල්වල දුක් විඳිනවා. බුද්ධි අංශ රණවිරුවන් ඇතුළු ඒ හිරේ දමපු පිරිස්ට අද අවමන් කරනවා, ‘කප්පම් කාරයෝ, මංකොල්ල කාරයෝ’ කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහභාගි වූ උත්සවයකට පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුට දැල එළලා බුද්ධි අංශ ඔහුව අතරමගට ගෙන ආ නිසයි සිරිසේන මහත්තයාගේ ජීවිතය බේරුණේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට නම් කොටින්ට පක්ෂපාතිත්වයක් ඇති වන එක සාධාරණයි. එතුමාට එජාපයේ යාවත්කාලීන නායකයා වෙන්න ඉඩ හදලා දුන්නේ කොටි සංවිධානයයි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එතුමාට වඩා නායකත්වයට සුදුසු අය මරා දැමුවේ කොටි සංවිධානය. දිගටම නායකත්වයේ සිටින්න සූදානම් වූ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කළේ කොටි සංවිධානය. ඒ නිසා එතුමාට කොටින්ට ගෙවන්න ණයක් ඇති. නමුත් සිරිසේන ජනාධිපතිවරයා දැන ගන්න ඕනේ මගේ පණ බේරා දුන්නේ රණවිරුවන් විසින් කියලා. තමන්ව මරන්න ආපු කොටියාට ජනාධිපති සමාව දුන්නට හරි යන්නේ නැහැ. බොරු චෝදනාවලට හිරේ ඉන්න රණවිරුවන්ට ජනාධිපති සමාව දුන්නේ නැතිනම් ඔය ජනාධිපතිකමින් වැඩක් නෑ.

‘ජවිපෙ පැවැති විවාදය’

මේ සියල්ලෙන් පෙනී යන්නේ මේ රටේ ගුණමකුභාවය. මෙතැන ඉන්නා මේ සියලු රණවිරුවන් මේ මහ පොළවට ණය ඇති මිනිස්සු නොවෙයි. තවත් ලිබියාවක්, ඉරාකයක් බවට පත්වීමට ගිය රටක් තමයි මේ රණවිරුවන් ගලවා ගත්තේ. ඉතිහාසය පුරා මේ රට විදේශ ආක්‍රමණවලින් ගලවා ගත්තු සියලු රණවිරුවන් අපේ හදවත් තුළ සදාකාලිකව ජීවත් විය යුතුයි. ඒ හැඟීම බලවත් ලෙස නිර්මාණය නොවනතාක් කල් මේ පොළොවට නැගිටින්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන නම කියනකොට අද සමහරුන්ගේ.... (තිත් පේලියක්). හිතට ආපු දේ කියන එක හොඳ නැති හින්දා කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ තමන්ට පවරපු වගකීම දිවා රෑ නැතිව වෙහෙස වෙලා ඉටු කරපු රාජ්‍ය නිලධාරියෙක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2005 දී බලයට ආවාට පස්සේ ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ ලොකු විවාදයක් ඇති වුණා,‘මහින්ද යුද්ධය කරයිද? නැද්ද?’ කියලා. එතකොට වැඩිදෙනෙකුගේ මතය වුණේ ‘මෙයා යුද්ධය කරන්නේ නැහැ’ කියලා. මම එදා කිව්වා ‘තමන්ගේ සහෝදරයා ආරක්‍ෂක ලේකම් කරලා, කවුරුවත් හමුදාපති කරන්න අකමැති වුණු ෆොන්සේකා හමුදාපති කළේ යුද්ධය කරන්න නොවෙයි නම් අහවල් කෙංගෙඩියට ද?’ කියලා. එදා අපි පැහැදිලිව කීවා, ‘නැහැ මේ තීරණ ගන්නේ යුද්ධය කරන්න’ කියලා. අද ඒ විජයග්‍රහණයට මුල් වූ මහින්ද රාජපක්‍ෂ ගෙදර යවලා වෙනත් ජෝඩුවක් ගෙනවිත් මේ රටම හූල්ලනවා.

‘රාජිත කාගේ පුතෙක් ද?’

මේ රටට, රණවිරුවන්ට නැවත අභිමානය ගෙන එන්න ඕනෙ. විජයග්‍රහණයේ දිනය යළි සමරන්න ඕනෙ. එදාට සෑම නිවෙසකම ජාතික කොඩිය ලෙල දෙන්න ඕනේ. එදාට ත්‍රිවිධ හමුදාවන් පෙළහර පාමින් අභිමානවත් රාජ්‍ය උත්සවයක් පවත්වන්න ඕනෙ. එදා ලැබූ විජයග්‍රහණය දෙමළ ජනතාවට එරෙහි එකක් නොවෙයි. එය සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ මේ රට බෙදන්න හදන අන්තවාදයට එරෙහි විජයග්‍රහණයක්. ඒ නිසා අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ඒ විජයග්‍රහණයේ දිනය සමරන්න ඉඩකඩ හදලා දිය යුතුයි. එය රණවිරුවන්ට කළ හැකි දෙයක් නොවෙයි. ඒ ඉඩකඩ හදලා දීමට පුළුවන් මේ රටේ දේශපාලන තන්ත්‍රයටයි. නමුත් අද මේ රටේ දේශපාලන බලය හොබවන පිරිස් කටයුතු කරන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසයි. අද දත් දොස්තර රාජිත සේනාරත්න හැසිරෙන හැටි බලන්න. එයා කියන්නේ ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව සිවිල් වැසියන් මැරුවා’ කියලානේ. එදා ‘සුදු කොඩි රැගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබුවා’ කියා ෆොන්සේකා මහත්තයා කීවාම ඒක ජාත්‍යන්තරව හොඳ සාක්‍ෂියක් වුණා. අද රාජිත සේනාරත්නගේ මේ ‘උතුරේ සාමාන්‍ය ජනයා මරා දැම්මා’ කියන එකත් ඔවුන්ට හොඳ සාක්ෂියක් වේවි. ‘කොටි’ දැන් රාජිතට ‘පුතාලා’ වෙලා. මම දැන් හිතන්නේ මෙයා ‘කාගේ පුතෙක් ද?’ කියලයි.

මේ රට මේ පාලනතන්ත්‍රය විසින් ඇදගෙන යමින් තිබෙන්නේ එහි ඉතිහාසයට, ජනතාවගේ සිතුම් පැතුම්වලට, පටහැනි ගමනක්. ඒ වගේම මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට, වීරවරයන්ට රැහැනිව යන ගමනක්. මේ ගමන පරදවා දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් ද සහිතව පැවැත්වීමට හැකි පරිවර්තනයකට අපි සූදානම් විය යුතුයි. ඒ සඳහා පෙළගැසෙමු! ඒ සඳහා ඔබට සැමට ධෛර්යෟ ශක්තිය! මාතෘභූමියට ජයවේවා!