ඉඩම් ලේඛන නවීන තාක්ෂණික ක්‍රමවේදයට සුරක්ෂිත කිරීමට උපදෙස්

ඉඩම් ලේඛන නවීන තාක්ෂණික ක්‍රමවේදයට සුරක්ෂිත කිරීමට උපදෙස්

April 20, 2018   05:51 am




කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ලේඛන තැන්පත් කර තිබෙන කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හැකි ඉක්මණින් නවීකරණය කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හදිසියේම එම කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව අදහස් දක්වමින්ය.

එම නිරීක්ෂණය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා සහ රෙජිස්ටාර් ජනරාල් නීල් ද අල්විස් මහතා ද සහභාගී වී සිටියහ. 

වැඩිදුරටත් අඳහස් දැක්වු අමාත්‍යවරයා

''ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛන තවමත් ගබඩා කර තිබෙන්නේ පැරණි ක්‍රමයකට. මේවාට කිසිම ආරක්ෂාවක් නැහැ. ඇතැම් ලේඛන දුර්වර්ණ වෙලා පුස් බැඳිලා කොළ එහෙම ම දිරලා ගිහින්. කොළඹ තමයි ශ්‍රී ලංකාවේ වටිනාම ඉඩම් ටික තියෙන්නේ. ඒවා පුද්ගලයන් සතු ඉඩම්, සමාගම් සතු ඉඩම් ඇතැම් ඉඩම් සංවිධාන සතු ඉඩම් රජයේ ඉඩම් පවා තිබෙනවා. අපේ ජනතාව තම ජීවිත කාලය පුරා හරි හම්බකරපු උපයපු වටිනාම වස්තුව මේ. නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ මේවා ආරක්ෂා කරන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ගොඩනැගිල්ලේ තත්ත්වයත් ඉතාමත් කණගාටුදායකයි. 

අපි අලුතින් නිලධාරීන් බඳවාගෙන මේ ලේඛන සියල්ල පිරිසිදු කර ඒවා විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කරන්න ඉක්මණින් කටයුතු කරනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ලේ තත්ත්වය ඉතා දුර්වල නිසා නව ගොඩනැගිල්ලකට මේ කාර්යාලය ගෙන යාමටත් අපි ඉක්මණින් කටයුතු කරන්න අවශ්‍යයි. මෙම කර්යාලය ඉක්මණින් නවීකරණය කර ලේඛන සියල්ල නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඒ අවස්ථාවේම අමාත්‍යාංශ ලේකම් එස්.ටී.කොඩිකාර මහතාටත්, රෙජිස්ටාර් ජනරාල් නීල් ද අල්විස් මහතාටත් උපදෙස් දුන්නේය.''

මෙම කාර්යාලය වහාම වෙනස් ස්ථානයක ස්ථාපිත කර ලේඛන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ මොහොතේ ම උපදෙස් දුන්නේය.