ත්‍රීපෝෂ නිෂ්පාදනය සියයට 100 ක් යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමට පියවර

ත්‍රීපෝෂ නිෂ්පාදනය සියයට 100 ක් යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමට පියවර

April 18, 2018   06:19 pm



ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සේවක සේවිකාවන්ට සියයට 10 ක බෝනස් මුදලක් පිරිනැමීම සහ රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකළ පටිවාහක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කදාන ත්‍රීපෝෂ සමාගමේ දී පසුගියදා සිදු කෙරිණි.

ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීම සියයට 75 ක් මෙතෙක් සිදු වුයේ යන්ත්‍ර සූත්‍ර මගින් වන අතර ඉතිරි සියයට 35 මිනිස් ශ්‍රමය යොදාගෙන ඇති අතර එය යන්ත්‍ර සුත්‍ර වලට පරිවර්ථනය කිරීමේ අරමුණින් පටිවාහක පද්ධතිය සකස් කර තිබේ.

මේ අතර ත්‍රීපෝෂ සමාගම නිෂ්පාදනය කරන සුපෝෂ අලෙව් කරන නියෝජිතයින් මේ වනවිට දිවයින පුරා 40 ක් සිටිති. ඔවුන්ගේ අලෙවියෙන් ලැබෙන ආදායම මත 2017 වසරේ දී මහාභාණ්ඩාගාරයට රුපියල් මිලියන 200 ක් ලබා දී ඇත. එම වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 103 කි. එම ලාභය මත සේවක සේවිකාවන්ට සියයට 10 ක බෝනස් මුදලක් ලබාදීමට පාලන අධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ අනුව සියලුම සේවකයින්ට බෝනස් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මේ වන විට ලාභ ලබන අතර එම නිසා සේවක වැටුප සියයට 50 කින් වැඩි කළ බවත්  ත්‍රීපෝෂ සමාගම ද තවත් ලාභ ලැබිය යුතු අතරඑ එවිට ලබාදෙන බෝනස් මුදල වැඩිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ත්‍රීපෝෂ සමාගමේ සභාපති එම්.ඩී බන්දුසේන මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, වෛද්‍යවරුන්, සේවක සේවිකාවන් එක්ව සිටියහ.