යුද පුහුණුව ලත් පිරිසක් ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට යෙදවීමට මම විරුද්ධයි

යුද පුහුණුව ලත් පිරිසක් ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට යෙදවීමට මම විරුද්ධයි

April 18, 2018   11:11 am



උතුරේ දෙමළ තරුණ තරුණියන් 6020 ක් දෙනා ආරක්ෂක අංශයේ විවිධ රැකියාවලට ගොස් සිටින බවත්, යුද පුහුණුව ලත් පිරිසක් ළමයින්ට අධ්‍යාපනය ලබා දීම සඳහා යෙදවීම පිළිබඳව තමන් දැඩි ලෙස විරුද්ධ වන බවත් උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා 17 දා යාපනයේදී පැවසීය.

යාපනය පළාත් අධ්‍යාපන කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරන් මහතා  මේ බව ප්‍රකාශ කොට තිබේ.

මෙසේ ආරක්ෂක අංශවල සේවයට ගිය පිරිස අතරින් කාන්තාවන් 553 දෙනෙකු උතුරු පළාතේ පෙර පාසල්වල හා රජයේ පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතුවල නිරතව සිටින බව පවසන සර්වේස්වරන් අමාත්‍යවරයා මෙය අධ්‍යාපන හා මනෝවිද්‍යාවට අනුව කිසිසේත්ම අනුමත කල හැකි ක්‍රියාවක් නොවන බවද පවසයි.

යුද මානසිකත්වයක් ඇති හා යුද පුහුණුව  ලද පිරිසක් තුළින් ළමයින්ට කරුණාව දයාව හා අනුකම්පාව ලැබෙනු ඇතැයි කිසි විටකත් සිතිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ නිසා මේ අන්දමට සිටින ගුරුවරුන් හා පෙර පාසල් පාලිකාවන් සදහා ඉතා ඉක්මනින් පියවරක් ගැනීමට තමන් සූදානමින් සිටින බවද  අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.