‍ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිල ඉහළට?

‍ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිල ඉහළට?

April 17, 2018   07:19 am


ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය එළඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බවයි.

මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය එළඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
 
ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.