මහින්දානන්දට ඇප-මැයි 11 නැවත අධිකරණයට

මහින්දානන්දට ඇප-මැයි 11 නැවත අධිකරණයට

April 16, 2018   03:43 pm

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන තිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට ඔහු අද අත්අඩංගුවට ගැණුනි.

ඒ අනුව සැකකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද  නියම කළා.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනාවට භාජනය වී තිබෙන  මුදල් පොදු දේපල ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පවතින බව පෙන්වා දුන්නේය.

එම තර්කයට අනුව සැකකරු ඇප මත මුදා හැරීම සිදු කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයාට මැයි මස එකොළොස් සඳහා යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියම කළේය.

ප්‍රකාශයක් ලබා ගනීම සඳහා අද පෙරවරුවේ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණා.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කටයුතු කළේය.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සතොස ආයතනය හරහා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා කැරම්  සහ දාම් බෝඩ් මිලදී ගැනීමේදී  රුපියල් මිලියන 39 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  තමන්ව අත්අඩංගුවට ගැනීම  වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණත් එම පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල නියම කර තිබුණි.

එම තීරණයට එරෙහිව මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර තිබුණත් එය මේ දක්වා  අධිකරණය හමුවේ සලකා බලා නැහැ.