මහනුවර සිදුවීමෙන් පූජනීය ස්ථාන 65කට අලාභ-සාපරාධි ක්‍රියා සම්බන්ධ 280ක් අත්අඩංගුවට

මහනුවර සිදුවීමෙන් පූජනීය ස්ථාන 65කට අලාභ-සාපරාධි ක්‍රියා සම්බන්ධ 280ක් අත්අඩංගුවට

March 13, 2018   06:42 pm

මහනුවර සිදුවූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දස දෙනෙකු ත්‍රස්ත විමර්ශන දිසාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අනාවරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදු වූ කළහාකාරී සිද්ධීන්වලට අදාළ පසුගිය මාර්තු 04 වනදා සිට මාර්තු මස 12 දක්වා කාලය තුළ වාර්තා වූ සාපරාධී ක්‍රියාවලට අයත් දත්ත අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

ඒ අනුව දිවයින පුරා නිවාසවලට හා වෙළඳසැල්වලට අලාභ හානී කිරීමේ සිද්ධීන් 445 වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ පූජනීය ස්ථාන 65 කට අලාභහානි සිදුව ඇති බවයි.

මේ අතර තුවාල කිරීමේ සිද්ධි 28 ක් වාර්තා වී ඇති අතර මෙම සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් 280 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මහනුවර සිදුවූ මෙම කළහකාරී සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැක කරුවන් දස දෙනෙකු ද ත්‍රස්ත විමර්ශන දිසාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට පත් පිරිස අතර වන බවයි.

මේ අතර මහනුවර කුණ්ඩසාල ප්‍රෙදේශයේ පිහිටි මහසෝන් බලකායට අයත් කාර්යාලයක තිබී ජාතීන් අතර අසමඟිය ඇතිකිරීමට තුඩු දෙන භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.