මගී ජනතාවගේ කකුල් කඩන බස්රථවල ටයර් කපන අපූරු බස් නැවතුම්පොළක්(ඡායාරූප සහිතයි)

මගී ජනතාවගේ කකුල් කඩන බස්රථවල ටයර් කපන අපූරු බස් නැවතුම්පොළක්(ඡායාරූප සහිතයි)

March 12, 2018   08:25 am

දඹුල්ල මහ නගර සභාව මඟින් පාලනය වන ප්‍රධාන බස් නැවතුම්පොළ දැඩි අවධානම් කලාපයක් බවට පත්ව ඇතැයි මගී  ජනතාව මෙන්ම බස් රථ සේවකයෝ  පවසති.

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති  බස් නැවතුම්පළ ඇතුළත පිහිටි කානු පද්ධතිය වසා ඇති යකඩ තහඩු කැඩී බිඳී ගොස් සහ ඉවත් වී තිබීම නිසා මගී ජනතාවගේ කකුල් මෙම යකඩ තහඩුවලට කැපීම සහ කාණුවල වැටීම හේතුවෙන් බොහෝ දෙනෙකු අනතුරට පත්වන බව මගී ජනතාව පෙන්වා දෙති.

එමෙන්ම බස් රථ රියදුරන් සඳහන් කර සිටියේ මෙම යකඩ තහඩු නිසා බස් රථවල ටයර් කැපී ගොස් විනාශ වෙන බවයි.

වසර ගණනාවක සිට පවතින මෙම අවදානම් තත්ත්වය දිනෙන් දින වර්ධනය වුවද දඹුල්ල මහ නගර සභාව සහ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය බස් රථවලින් මුදල් ලබාගැනීම පමණක් සිදුකරන බව බස්රථ රියදුරන් පවසති.

බස්රථ නැවතුම්පළට ඇතුළත් කරන සෑම බස් රථයකින් ම දිනකට රුපියල් 70 ක මුදලක් දඹුල්ල මහ නගර සභාව මඟින් ලබා ගන්නා බවත් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් නඩත්තු කටයුතු සඳහා බව පවසමින් එක් ගමන් වාරයක් සඳහා රුපියල් 50ක මුදලක් බස් රථවලින් ලබා ගන්නා බව බස්රථ සේවකයෝ පවසති.

එහෙත් දඹුල්ල බස් නැවතුම්පළ තනිකරම කානු පද්ධතිය අවහිර වී දැඩි දුර්ගන්ධයක් පවතින බවත් බස් නැවතුම්පොලේ එළියේ ඇවිදීමේදී කාණුවලට වැටීමේ අවදානම පවතිනවා මෙන්ම බස් නැවතුම්පළ ඇතුළත රැඳී සිටීමේ දී මගී ජනතාවගේ හිස මතට සහ ඇඳුම් මතට පරවියන්ගේ අසූචි වැටීම නිසා මගී ජනතාව දැඩි අසරණ තාවයට පත් වන බව ඔවුහු පෙන්වා දෙති.

දෙස් විදෙස් බොහෝ මගීහු දඹුල්ල බස් නැවතුම්පළ සිය ගමන් සපුරා ගැනීම සඳහා පාවිච්චි කරන බවත් එහෙත් මෙම අපිරිසිදුතාවය සහ අවදානම්තාවය පිළිබඳව වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි ඔවුහු වැඩිදුරටත් ඉල්ලීමක් කර සිටිති.

මේ තත්වය පිළිබඳව දඹුල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතාගෙන් විමසීමේදී  කඩිනමින් තමන් මේ පිළිබඳව අවධානය යොමුකරන බවයි.