යහපාලන දීගේ කටුගෑමේ අවසන් තීන්දුව උදේ ගන්නවා

යහපාලන දීගේ කටුගෑමේ අවසන් තීන්දුව උදේ ගන්නවා

February 19, 2018   09:27 am




‍දේශපාලන ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ(18) රාත්‍රියේදීත් සාකච්ඡාවට කිහිපයක් පැවැත් වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ජනපති නිල නිවසේදී පැවැති බව වාර්තා වෙයි

රාත්‍රී  07.00ට පමණ ආරම්භ වූ අදාළ සාකච්ඡා පැය තුනකට අධික කාලයක් පැවතියේය.

මෙහිදී දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එක්ව සිටි බව වාර්තා වෙයි.

මේ අතර මහ මැතිවරණයක් පවත්වා හෝ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය නිවැරැදි කිරීමට ජාතික නායකයින් කටයුතු කළ යුතු බව සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවය පවසයි.

එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි මාතර ප්‍රදේශයේදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.